විදේශීය සිගරට් 39,400ක් සමඟ විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය සිගරට් 39,400ක් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ 40 හැවිරිදි විදේශිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී (BIA) ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ, සිකුරාදා (අගෝස්තු 1) පෙරවරු 11.45ට පමණ ඉන්දියාවේ චෙන්නායි සිට IndiGo ගුවන් සේවයේ 6E1175 ගුවන් යානයෙන් පැමිණි මෙම සැකකරු පැමිණීමේ පර්යන්තයේ හරිත මාර්ගය (Green Channel) තුළදී නතර කර පරීක්ෂා කළ බවයි.

සැකකරු ව්‍යාපාරික ආයතනයක සේවකයෙකු බවද සඳහන් වේ.

රේගු නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේදී ගමන් මලු දෙකක් තුළ සඟවා තිබූ විදේශීය සිගරට් පෙට්ටි 197ක් හමුවී ඇති අතර, ඒවායේ සිගරට් කූරු 39,400ක් අඩංගු බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සිගරට් තොගයේ වටිනාකම රුපියල් මිලියන 5.91ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකා රේගුව විසින් අදාළ නීතිවිරෝධී භාණ්ඩ රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර, සැකකරු රුපියල් 250,000ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *