ලොව පුරා ද්විතීයික පාසල් සිසුන් සඳහා පැවැත්වෙන විශාලතම සහ වඩාත්ම කීර්තිමත් විවාද තරගාවලිය වන ලෝක පාසල් විවාද ශූරතාවලියේ (WSDC) 2026 දී ශ්‍රී ලංකා ජාතික පාසල් විවාද කණ්ඩායම මෙරට විවාද ඉතිහාසයේ විශිෂ්ටතම දස්කම වාර්තා කර තිබේ.
ජූලි 14 සිට 24 දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර පැවති මෙම තරගාවලියට රටවල් 80කට අධික සංඛ්‍යාවකින් සිසුන්, පුහුණුකරුවන් සහ විනිශ්චයකරුවන් 700කට වැඩි පිරිසක් එක්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ විවාද 8න් 7ක් ජයගනිමින් සමස්ත ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් WSDC ඉතිහාසයේ මූලික වටය අවසානයේ ලබාගත් ඉහළම ස්ථානය මෙන්ම, ප්‍රථම වරට මූලික වටයේ සමස්ත පෙරමුණ ගැනීමද වේ.
අනතුරුව ශ්‍රී ලංකාව Double Octo-Finals වටය දක්වා සුදුසුකම් ලබා ගැනීමටද සමත් විය.
මෙම ප්‍රතිඵලය, 2023 වසරේ මූලික වටයෙන් ශ්‍රී ලංකාව හිමිකරගත් සිව්වැනි ස්ථානය අභිබවා යන නව ජාතික වාර්තාවකි.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දකුණු කොරියාව, හොංකොං, කැනඩාව සහ නවසීලන්තය ඇතුළු ලෝකයේ ප්රබලතම විවාද කණ්ඩායම් රැසක් සමඟ තරග වැදුණි.
ක්‍රීඩාවේ භූමිකාව, ගෝලීය දේශපාලනය, ආර්ථික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කටයුතු ඇතුළු විවිධ මාතෘකා යටතේ පැවති විවාදවලදී ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩල ඉදිරියේ ප්‍රබල තර්ක ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
2026 ජාතික කණ්ඩායමේ පුහුණුකරු ෂාලම් සුමන්තිරන් මහතා පැවසුවේ, මූලික වටය අවසානයේ ලොව අංක එකේ කණ්ඩායම ලෙස පත්වීම ශ්‍රී ලංකාවට විශේෂ ජයග්‍රහණයක් බවත්, ඉංග්‍රීසි මව් භාෂාව නොවන කුඩා රටකට ලෝකයේ ප්රබලතම කණ්ඩායම් පරාජය කළ හැකි බව එයින් ඔප්පු වන බවත්ය.
පුද්ගලික සම්මාන
ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් ද කැපී පෙනෙන පුද්ගලික දස්කම් දැක්වූහ.
- සවිත් විජේසුන්දර (එලිසබෙත් මොයර් පාසල) ලෝකයේ 4 වැනි හොඳම කථිකයා ලෙසත්, ESL (දෙවන භාෂාව ලෙස ඉංග්‍රීසි) කාණ්ඩයේ ලෝක ශූරයා ලෙසත් පත්විය. එයද ශ්‍රී ලංකාවට හිමි වූ පළමු අවස්ථාවකි.
- රුදේෂ් රාම් (කොළඹ ජාත්‍යන්තර පාසල) ලෝකයේ 7 වැනි හොඳම කථිකයා ලෙස ශ්‍රේණිගත විය.
- ඇඩම් ධිල්ෂාන් (රාජකීය විද්‍යාලය) 6 වැනි හොඳම ESL කථිකයා ලෙස ශ්‍රේණිගත විය.
වසරක් පුරා පැවති තේරීම් ක්‍රියාවලිය
ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීම වසරක් පුරා පැවති දැඩි ක්‍රියාවලියක ප්රතිඵලයකි.
ශ්‍රී ලංකා විවාදකරුවන්ගේ සභාව (Debaters’ Council of Sri Lanka) විසින් වාර්ෂිකව අනුමත කරන ලද තරගාවලි 15කට අධික සංඛ්‍යාවකින් තේරීම් සිදු කරන අතර, ජාතික සංචිතයට තේරුණු අපේක්ෂකයින් පුහුණුවීම් සහ අත්හදා බැලීමේ වට රැසකින් පසු අවසන් පස්දෙනා තෝරාගනු ලබයි.
මෙවර කණ්ඩායම නියෝජනය කළේ සවිත් විජේසුන්දර, රුදේෂ් රාම්, ඇඩම් ධිල්ෂාන්, ටී. තරණිහරන් (රාජකීය විද්‍යාලය) සහ අපූර්වා ජිනදාස (හිල්වුඩ් විද්‍යාලය) යන සිසුන්ය.
ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස ෂාලම් සුමන්තිරන්, සචින් තිසේරා සහ කාවින්ද්‍ර සෙනරත්න කටයුතු කළහ.
දෙමාපියන්ගේ සහය මත ලද ජයග්‍රහණයක්
ශ්‍රී ලංකාව සමඟ තරග වැදුණු බොහෝ රටවල් රජයේ සැලකිය යුතු මූල්‍ය අනුග්‍රහය ලබා තිබුණද, ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා අරමුදල් සපයා ඇත්තේ ශ්‍රී ලංකා විවාදකරුවන්ගේ සභාව සහ තේරී පත් වූ සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් විසිනි.
ජාතික කණ්ඩායම සඳහා අරමුදල් රැස් කිරීමේ ප්‍රධාන මාර්ගය වන්නේ ශ්‍රී ලංකා විවාදකරුවන්ගේ සභාව ස්වේච්ඡා පදනම මත සංවිධානය කරන දකුණු ආසියානු පාසල් විවාද ශූරතාවලිය (SASDC) වේ.
ශ්‍රී ලංකා විවාදකරුවන්ගේ සභාවේ සභාපති ඩැනියෙල් වික්ටර් මහතා සඳහන් කළේ, මෙම ජයග්‍රහණය මෙරට විවාද ක්ෂේත්රයේ වර්ධනය වන ප්‍රමිතිය පිළිබිඹු කරන බවත්, ඉදිරි පරම්පරාවේ විවාදකරුවන් දිරිමත් කිරීමට මෙන්ම ජාතික මට්ටමින් විවාද ක්ෂේත්රයට වැඩි මහජන සහ ආයතනික සහයෝගයක් ලබාගැනීමටද මෙය හේතු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.


