යුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවට

යුරෝපීය ශීත ඍතු සංචාරක සමය (European Winter Season) ඉලක්ක කරගනිමින් මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ගේ පහසුව උදෙසා ප්රමුඛ පෙළේ ජාත්යන්තර ගුවන් සමාගම් තුනක් මෙම වසර තුළ ශ්රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව රුසියාව, ප්රංශය සහ සයිබීරියාව ආවරණය කරමින් මෙම නව ගුවන් ගමන් ආරම්භ වනු ඇත.
ගුවන් සමාගම් මෙහෙයුම් ආරම්භ කරන කාලසටහන:
- Azur Air (රුසියාව): රුසියානු ගුවන් සේවයක් වන ‘ඇසූර් එයාර්’ (Azur Air) සමාගම එළඹෙන නොවැම්බර් 02 වැනිදා සිට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළ (MRIA) වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
- French Bee (ප්රංශය): ප්රංශ ගුවන් සේවයක් වන ‘ෆ්රෙන්ච් බී’ (French Bee) සමාගම මාලදිවයින හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ (BIA) වෙත සිය වාරික ගුවන් ගමන් (Seasonal flights) එළඹෙන දෙසැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරයි.
- S7 Airlines (රුසියාව): මීට අමතරව, රුසියාවේ ප්රමුඛ ‘S7 එයාර්ලයින්ස්’ (S7 Airlines) ගුවන් සේවය සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් (Novosibirsk) නගරයේ සිට කටුනායක දක්වා සෘජු ගුවන් ගමන් ලබන දෙසැම්බර් මස සිට ආරම්භ කරනු ඇත. ඒ අනුව සයිබීරියාව සහ කොළඹ අතර සතියකට සෘජු ගුවන් ගමන් වාර දෙකක් ක්රියාත්මක කෙරේ.
මෙම නව ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ වීමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමිවන අතරම, විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නැංවීමටද එය ප්රබල පිටුවහලක් වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
