මහර බන්ධනාගාරයේ කලහය පිටුපස සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක්: අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ කලහකාරී තත්ත්වය තුළ කඩාකප්පල්කාරී ක්‍රියා සහ ගිනි තැබීම් පිළිබඳ පැහැදිලි ලක්ෂණ දක්නට ලැබෙන බවත්, බන්ධනාගාරයේ පරිපාලන කටයුතු අඩාල කිරීමේ සංවිධානාත්මක උත්සාහයක් පිළිබඳ සැක මතුව ඇති බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර  පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම සිද්ධිය සාමාන්‍ය රැඳවියන් අතර ඇති වූ ගැටුමකට වඩා බරපතළ තත්ත්වයක් බවයි. රැඳවියන් විසින් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, ආපනශාලාව, වෛද්‍ය මධ්‍යස්ථානය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකට හිතාමතා ගිනි තබා ඇති බවද ඔහු සඳහන් කළේය.

“මෙයින් ඔවුන්ට පැහැදිලි අරමුණක් තිබූ බව පෙනී යනවා. මෙවැනි සිදුවීමක් මීට පෙර සිදුවී නැහැ. මහර බන්ධනාගාරයේ පරිපාලනය කඩාකප්පල් කිරීම සඳහා සංවිධානාත්මක උත්සාහයක් තිබූ බව පැහැදිලියි,” යැයි ඔහු පැවසීය.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ සිදුවීම් පෙළ අනුව, කලහය ආරම්භ වී ඇත්තේ අගෝස්තු 1 වැනිදා රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයේ වහලය මතට නැගී විරෝධතාවක නිරත වීමත් සමඟය. මිනිත්තු 15ක් පමණ සාකච්ඡා මාර්ගයෙන් තත්ත්වය පාලනය කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පසුව තවත් රැඳවියන් 1,000කට ආසන්න පිරිසක් ඔවුන් සමඟ එක්ව ඇති අතර, තත්ත්වය විශාල කැරැල්ලක් දක්වා වර්ධනය වී තිබේ.

රැඳවියන් ප්‍රධාන පිවිසුමට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන්ට රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් භාවිත කිරීමට සිදුවූ බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ වන විට බන්ධනාගාරය තුළ පිහිටි ඒකක කිහිපයක් විනාශ කර තිබූ බවද ඔහු සඳහන් කළේය.

අගෝස්තු 2 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර රැඳවියන් නැවත ඔවුන්ගේ සිර මැදිරි වෙත යොමු කිරීමට සමත් වී තිබේ.

සිද්ධියෙන් එක් රැඳවියෙකු මියගොස් ඇති අතර තවත් අට දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. බන්ධනාගාර නිලධාරීන් කිසිවෙකු මියගොස් හෝ තුවාල ලබා නොමැති බව අමාත්‍යවරයා පැවසීය.

මහර සිද්ධිය මෑතකදී මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය සමඟ සංසන්දනය කරමින් අමාත්‍ය නානායක්කාර පැවසුවේ මීගමුවේ සිදුවීම රැඳවියන් අතර ඇති වූ ගැටුමක් වූ නමුත්, මහර සිද්ධියේදී රැඳවියන් සහ බන්ධනාගාර පරිපාලනය අතර සෘජු ගැටුමක් ඇති වූ බවයි.

එතරම් විශාල රැඳවියන් පිරිසක් එකවර සංවිධානය වී ක්‍රියා කිරීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කළ අතර, ඒ සඳහා බාහිර බලපෑමක් තිබේද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බව සඳහන් කළේය.

“මහර බන්ධනාගාරය අක්‍රිය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා. කිසියම් කුමන්ත්‍රණකරුවන් සිටී නම්, ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා,” යැයි ඔහු පැවසීය.

මහර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවත්, මෙවැනි සිදුවීම් වෙනත් බන්ධනාගාර වෙත පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *