ආරුගම්බේ පාලම ආසන්නයේ ඉදිකිරීමට නියමිත ‘Sunset View Park’ තොරතුරු හා සේවා මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන්ට අවශ්‍ය සියලු තොරතුරු සහ සේවාවන් එකම ස්ථානයකින් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
කලාපයට අත්‍යවශ්‍ය පහසුකමක් වුවද දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අමාත්‍යාංශය විසින් සම්පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘතිය සම්පූර්ණ කර එය ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයන්ට භාරදීමට දේශපාලන බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් කැපවී සිටින බවද ඔහු සඳහන් කළේය.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ නායකත්වය හා සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක වේ.
ආරුගම්බේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සංචාරක කලාපයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


