පොළොන්නරුවේ කොටලීය පාලමට නව පෙනුමක්: රුපියල් මිලියන 251ක ව්‍යාපෘතියේ වැඩ 75%ක් අවසන්

පොළොන්නරුවේ කොටලීය පාලමේ ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතින අතර, ලබන වසරේ අප්‍රේල් මාසය වන විට එහි වැඩ කටයුතු අවසන් කිරීමට බලධාරීන් සැලසුම් කර තිබේ.

මරදන්කඩවල, හබරණ, ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 82/3 ස්ථානයේ, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රදේශයේ පිහිටි මෙම පාලම කොන්ක්‍රීට් පාලමක් ලෙස යළි ඉදිකෙරෙමින් පවතී.

නව පාලම මීටර් 13.4ක පළලකින් සහ මීටර් 60ක දිගකින් යුක්ත වන අතර, ප්‍රවාහන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් පාලම යළි ඉදිකිරීමට තීරණය කළ බවයි.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 251කි.

මේ වන විට ඉදිකිරීම් කටයුතුවලින් 75%ක් පමණ අවසන් කර ඇති අතර, නව පාලම ඉතා ඉක්මනින් ජනතාව වෙත විවෘත කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යාංශය පවසයි.

පැරණි පාලම පටු වීම හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ අනතුරු රැසක් සිදුව තිබූ අතර, එම තත්ත්වය හේතුවෙන් පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබේ.

නව පාලම ඉදිකිරීමෙන් මෙම ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරන ජනතාවට සහ සංචාරකයන්ට වඩාත් ආරක්ෂිත හා පහසු ප්‍රවාහන පහසුකම් සැලසෙනු ඇත.

ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *