ශ්‍රී ලංකාවේ නිර්මාණ ශිල්පිනියකගෙන් චාල්ස් රජුට අපූරු කලා තිළිණයක්: පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන් 56ම එකම නිර්මාණයකට එක් වෙයි

ශ්‍රී ලාංකික රෙදිපිළි ආශ්‍රිත විලාසිතා නිර්මාණ ශිල්පිනියක වන රුවන්ති ගජදීර විසින් නිර්මාණය කළ සුවිශේෂී සයනොටයිප් කලා නිර්මාණයක්, පොදුරාජ්‍ය මණ්ඩලීය මිත්‍රත්වය සඳහා වූ වික්ටෝරියා ලීගයේ 125 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති උද්‍යාන සාදයකදී තුන්වන චාල්ස් රජු වෙත පිළිගන්වා තිබේ.

“එක මවකගෙ දරුවෝ” (Eka Mawakage Daruwo, Children of One Mother) ලෙස නම් කර ඇති මෙම කලා නිර්මාණය බටහිර ලන්ඩනයේ බේස්වෝටර්හි පිහිටි වික්ටෝරියා ලීග් මන්දිරයේදී එළිදක්වා ඇත.

ශ්‍රී ලංකා ජාතික ගීය මගින් ප්‍රකාශ වන සහෝදරත්වය සහ එකමුතුභාවයෙන් ආභාසය ලබා ඇති මෙම නිර්මාණය, ජනවාර්ගික හා ආගමික වෙනස්කම් ඉක්මවා යන පොදු අයිතිවාසිකම සහ සහජීවනය පිළිබිඹු කරයි.

එම අදහස තවදුරටත් පුළුල් කරමින්, පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 56ටම අයත් ජාතික මල් 56ක් ද නිර්මාණයට එක් කර තිබේ. එම මල් ඔටුන්නක හැඩයක් වටා සකස් කර ඇති අතර, එම ඔටුන්න තුළ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති High Brown Fritillary සමනලයා නිරූපණය කර ඇත.

මෙහි සෑම මලක්ම අතින් ඇඳ ඇති අතර, කඩදාසියද අතින්ම සංවේදීකරණය කර තිබේ. මුද්‍රණය සඳහා භාවිත කර ඇත්තේ හිරු එළිය පමණි.

සයනොටයිප් ක්‍රමයේදී දක්නට ලැබෙන සුවිශේෂී නිල් පැහැය කිසිදු වර්ණකයක් හෝ ඩයි වර්ගයක් යෙදීමෙන් නොව, ප්‍රකාශ රසායනික ප්‍රතික්‍රියාවක් හරහා නිර්මාණය වේ. එම ක්‍රියාවලියේදී විෂ සහිත අපද්‍රව්‍ය නිපදවීමක් සිදු නොවන අතර, එය ගජදීරගේ පරිසර හිතකාමී සහ තිරසර නිර්මාණ භාවිතයටද අනුකූල වේ.

මෙම අවස්ථාවට වික්ටෝරියා ලීගයේ භාරකරුවන්, පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ නියෝජිත නිමල් සේනාධීර ඇතුළු මහ කොමසාරිස්වරුන් සහ නේවාසික සිසුන් සහභාගි වී තිබේ.

වික්ටෝරියා ලීගයේ අනුශාසකවරයා වන චාල්ස් රජු විසින් සමරු ඵලකයක්ද නිරාවරණය කර ඇති අතර, එහිදී සිසුන් සමඟද සුහද කතාබහක නිරත වී තිබේ.

වික්ටෝරියා ලීගයේ සභාපති ජෝන් ස්ටීල් KC මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“පොදුරාජ්‍ය මණ්ඩලයේ ඔබගේ නායකත්වය අතිශය වැදගත් බව අපි විශ්වාස කරනවා. පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල්ද එසේම සිතනවා.”

මෙම කලා නිර්මාණය චාල්ස් රජු නොවැම්බර් මාසයේ ඇන්ටිගුවා සහ බාබුඩා වෙත සිදු කිරීමට නියමිත සංචාරයට පෙර එළිදක්වා තිබීමද විශේෂත්වයකි. එහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය.

රුවන්ති ගජදීර ගැන

රුවන්ති ගජදීර මේ වන විට ලන්ඩනයේ සිය නිර්මාණාත්මක කලා භාවිතය වර්ධනය කරමින් සිටින්නේ Royal College of Art හි ව්‍යාපාර වේගවත් කිරීමේ වැඩසටහනක් වන InnovationRCA හරහාය. ඇය Royal College of Art වෙතින් විලාසිතා පිළිබඳ MA උපාධියක්ද ලබා ඇත.

එමෙන්ම ඇය යුරෝපීය විශ්වවිද්‍යාල සන්ධානයක් වන Circle U. හරහා බර්ලිනයේ Humboldt-Universität zu Berlin ආයතනයේ පහසුකම් සපයන්නියක ලෙස කලා හා විද්‍යා පර්යේෂණ නිර්මාණකරණ කටයුතුවලද නිරත වෙයි.

තිරසර නිර්මාණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වූ නිර්මාණ ශිල්පිනියක වන ඇය, 2021 වසරේ Taiwan Fashion Design Award සම්මානය දිනාගත් පළමු දකුණු ආසියාතිකයා බවට පත්විය.

එමෙන්ම ලොව විශාලතම තිරසර විලාසිතා තරගාවලිය ලෙස සැලකෙන Redress Design Award තරගාවලියේදී 2023 වසරේ අනුශූරතාවද හිමිකරගෙන තිබේ.

ඇයගේ නිර්මාණ භාවිතය ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් මත පදනම් වූ අත්යන්ත්‍ර රෙදි විවීම, ස්වාභාවික වර්ණක භාවිතය සහ සයනොටයිප් තාක්ෂණය ඒකාබද්ධ කරමින්, ද්‍රව්‍යමය ක්‍රියාවලීන් හරහා ස්ථානය, ඉතිහාසය සහ වගකීම වැනි සංකල්ප ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *