පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි

හිටපු අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් සහ සුඛෝපභෝගී මෝටර් රථ අත්හිටුවීමට (Freeze කිරීමට) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) පියවර ගෙන තිබේ.
දැනට ක්රියාත්මක කෙරෙන පුළුල් විමර්ශනයකට අදාළව, 2025 අංක 5 දරන ‘අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනතේ’ (Proceeds of Crime Act) විධිවිධාන ප්රකාරව මෙම නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
රඛිත රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ මූල්ය චෝදනාවලට අදාළ විමර්ශනවල එක් අදියරක් ලෙස මෙම දේපළ සහ ගිණුම් තහනම් කළ බව අල්ලස් කොමිසමේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේය.
කෝටි 12ක අල්ලස් චෝදනාව
බන්ධනාගාරගතව සිටින ප්රබල සංවිධානාත්මක අපරාධකරුවෙකුට නීතිමය හා පරිපාලනමය සහන සලසාදීම වෙනුවෙන්, එම අපරාධකරුගේ බිරිඳගෙන් රුපියල් මිලියන 120ක (රුපියල් කෝටි 12ක) දැවැන්ත මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බවට මෙම විමර්ශනය මඟින් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත.
මෙම අල්ලස් සිදුවීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මීට පෙර කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් මඟින් කරුණු වාර්තා කර තිබිණි.
අදාළ නඩුවේ පළමු සැකකරු ලෙස රඛිත රාජපක්ෂ නම් කර ඇති අතර, චරිත අබේසිංහ සහ වරුණ හන්දිගේ අරුණ චතුරංග යන අය පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි සැකකරුවන් ලෙස නම් කර ඇත. මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරුවන් තිදෙනාම පසුව අධිකරණය මඟින් ඇප මත මුදාහරිනු ලැබීය.
නාවල නිවසට ගොස් භාරදුන් නිල නියෝගය
මේ අතර, අදාළ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන තහනම් කිරීමට අදාළ නිල අධිකරණ සහ පරිපාලන නියෝගය භාරදීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) නාවල ප්රදේශයේ පිහිටි රඛිත රාජපක්ෂ මහතාගේ නිවස වෙත ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරයි.
