පර්යේෂණ ජනතාවට ප්‍රතිලාභ ලබාදෙමින් ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි – ජනපති

නව විද්‍යාත්මක පර්යේෂණ මගින් ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබාදෙන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

පර්යේෂණ හා සංවර්ධන (R&D) ක්ෂේත්‍රයේ පරිවර්තනීය බලය උපයෝගී කරගන්නා රටවල් පමණක් අනාගතයේ සමෘද්ධිමත් වනු ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති සහ යෝජනා මෙන්ම 2027 අයවැය සඳහා වන සැලසුම් සම්බන්ධයෙන් ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සමාලෝචන රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ලොව වඩාත්ම සමෘද්ධිමත් ආර්ථිකයන්හි පදනම පර්යේෂණ හා සංවර්ධනය බවත්, මිනිස් අවශ්‍යතා සපුරාලන ආකාරය එමගින් විශාල වශයෙන් වෙනස් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනතාවගේ දෛනික ජීවන තත්ත්වය සහ ආදායම් වැඩිදියුණු කිරීමට උපකාරී වන දත්ත හා තොරතුරු පහසුවෙන් ජනතාව වෙත ලබාදීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල පර්යේෂණ කටයුතු සඳහා අරමුදල් වෙන්කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය.

මෙහිදී අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 14ක් විසින් දේශීය සහ විදේශීය ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරිණි.

ඒ අතරට ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් අලි වැට ඉදිකිරීම සහ අඩු වියදම් පරිසර හිතකාමී ගොඩනැගිලි තාක්ෂණයන් සම්බන්ධයෙන් සිදුකරන ව්‍යාපෘති ඇතුළත් විය.

විද්‍යාත්මක නවෝත්පාදන වාණිජකරණය කිරීමේදී පවතින අභියෝග ජයගැනීම සඳහා NIRDC වැඩසටහන මගින් සිදුකරන කාර්යයන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

රුහුණු විශ්වවිද්‍යාලය සමඟ එක්ව කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණ සහ ආයුර්වේද නිෂ්පාදන සංවර්ධනය පිළිබඳවද අවධානය යොමු විය.

ජාතික විද්‍යා පදනමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් විශ්වවිද්‍යාල සමඟ හවුල්කාරීත්වයන් ඇති කිරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බාධා හේතුවෙන් ප්‍රගතිය මන්දගාමී වී ඇති බව අනාවරණය විය.

ජාතික විද්‍යා කොමිසම විසින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

ඉදිරියේදී ආපදා සඳහා සූදානම් වීම සම්බන්ධ විද්‍යාත්මක මාර්ග සිතියමක් ඔක්තෝබර් මාසයේදී එළිදැක්වීමට නියමිත බව නිලධාරීහු සඳහන් කළහ. BIMSTEC රටවල් අතර තාක්ෂණ හුවමාරු වැඩසටහනක්ද සැලසුම් කරමින් පවතී.

මීට අමතරව, දුම්රිය හා අලි ගැටීම් වැළැක්වීම සඳහා ආතර් සී. ක්ලාක් ආයතනය විසින් සංවර්ධනය කරන කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ තාප රූපකරණ පද්ධතියක්, Astro-Tourism සහ ආපදා කළමනාකරණය වැනි නැගී එන ක්ෂේත්‍ර සම්බන්ධ පර්යේෂණ මෙන්ම කජු, වී සහ තේ වගාව ආශ්‍රිත කෘෂිකාර්මික පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා විය.

කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ අමාත්‍යාංශ අතර පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති දිසානායක මහතා අවධාරණය කළේය. නවෝත්පාදන සාර්ථකව වාණිජකරණය කර ඒවා ජනතාවගේ ජීවිත සෘජුවම වැඩිදියුණු කිරීමට යොදාගැනීම සහතික කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *