රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනතේ සංශෝධනවල ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 15ක් සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (3) කල් තැබීය.
මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවා තිබිණි.
හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ යෝජිත පනත් කෙටුම්පත සම්මත කර බලාත්මක කිරීමට පෙර ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
ඊයේ පැවති නඩු විභාගයේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කර ඇත්තේ පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන මගින් මූලික අයිතිවාසිකම්වලට මෙන්ම අධිකරණයේ බලතලවලටද බලපෑම් එල්ල විය හැකි බවයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික කරුණු දැක්වීම් ඊයේ අවසන් කර ඇති අතර, වැඩිදුර කරුණු දැක්වීම් සඳහා නඩු විභාගය අද (4) යළි කැඳවීමට නියමිතය.


