පාකිස්තාන බලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය සඳහා දැඩි නව සීමා පනවා ඇති අතර, ඉන් බොහෝ ප්‍රදේශවල සිට වාර්තාකරණයේ නිරත වීම තහනම් කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන දැඩි විරෝධය පළ කර තිබේ.
නව නීති අනුව, පාකිස්තාන පුරවැසියන් ඇතුළු ඕනෑම අයෙකුට ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් යන නගර තුන හැර පාකිස්තානයේ වෙනත් ඕනෑම ප්‍රදේශයක සිට වාර්තාකරණයේ නිරත වීමට පෙර අවසර ලබාගත යුතුය.
ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතරින් පාකිස්තානය 153 වැනි ස්ථානයේ පසුවේ. එරට බලයට පත්වූ විවිධ ආණ්ඩු විසින් මීට පෙර දේශීය මාධ්‍ය වෙත සීමා සහ වාරණ පනවා තිබුණද, ජාත්‍යන්තර මාධ්‍ය වෙත මෙවැනි සීමා පැනවූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.
නව නීති හදිසියේ ප්‍රකාශයට පත්කර ඇත්තේ පාකිස්තානය විසින් පාලනය කරන කාශ්මීරයේ විරෝධතාකරුවන් දුසිම් ගණනක් ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවය. එම සිදුවීම වාර්තා කර තිබුණේ ජාත්‍යන්තර මාධ්‍ය පමණි.
පාකිස්තාන කාශ්මීරයේ අගනුවර වන මුසෆරාබාද්හි පැවති ප්රචණ්ඩ විරෝධතා සහ ජනතාව කලාපීය මැතිවරණ වර්ජනය කරමින් සිටින බව වාර්තා කිරීමෙන් පසු අල් ජසීරා වෙබ් අඩවිය පාකිස්තානය තුළ සීමා කර තිබේ.
පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය අල් ජසීරා වාර්තාකරණය “කහ පුවත්පත් කලාවක්” ලෙස හඳුන්වා තිබේ. එය සංවේදී ආකාරයෙන් ප්රවෘත්ති වාර්තා කිරීම හැඳින්වීමට භාවිත කරන අපහාසාත්මක යෙදුමකි.
බලධාරීන් එම පුවත් වෙබ් අඩවිය තහනම් කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති නමුත්, VPN භාවිතයෙන් තොරව එයට ප්‍රවේශ වීමට තවදුරටත් නොහැකි බව වාර්තා වේ.
BBC ආයතනය පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ සිට වාර්තා කරමින්, නිරායුධ විරෝධතාකරුවන්ට පාකිස්තාන ආරක්ෂක අංශ වෙඩි තැබූ බවට විරෝධතාකරුවන් සහ ප්‍රදේශවාසීන් එල්ල කළ චෝදනා වාර්තා කර තිබේ. ඊට පාකිස්තාන බලධාරීන් දැඩි ප්‍රතිචාරයක් දක්වමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, සියලු මාධ්‍යවේදීන්ට වහාම කාශ්මීරයෙන් පිටවන ලෙසද දැනුම් දී තිබේ.
Foreign Media Facilitation Guidelines 2026 ලෙස තොරතුරු අමාත්‍යාංශය හඳුන්වා දී ඇති නව නීති මගින් මාධ්‍යවේදීන්ට වාර්තාකරණය සඳහා අවසර ලබාදීමට කොපමණ කාලයක් ගතවන්නේද යන්න පැහැදිලිව සඳහන් කර නොමැත.
පාකිස්තාන ෆෙඩරල් මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු මහ ලේකම්වරයකු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන නසීර් සයිඩි පැවසුවේ, ජාත්‍යන්තර මාධ්‍ය පාකිස්තානයේ විරෝධතා ව්‍යාපාර, විපක්ෂ දේශපාලන පක්ෂවලට එරෙහි මර්දනය සහ රටේ පවතින දේශපාලන මර්දනකාරී තත්ත්වය වඩාත් වාස්තවිකව වාර්තා කර ඇති බවයි.
“දශක ගණනාවක් තිස්සේ විවිධ ආණ්ඩු ප්රවෘත්ති යටපත් කිරීමට උත්සාහ කළා. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය නිසා ඔවුන් එහිදී අසාර්ථක වුණා. දැන් ඔවුන් මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරකම් සීමා කිරීමට මෙම මර්දනකාරී නීති හඳුන්වා දී තිබෙනවා. ඔවුන්ට සත්‍යය වාර්තා කරනවාට අවශ්‍ය නැහැ,” යැයි සයිඩි පැවසීය.
කෙසේ වෙතත්, මාධ්‍යවේදීන්ගේ ගමනාගමනයට පොදු සීමාවක් පැනවීමක් හෝ මාධ්‍ය කටයුතු සීමා කිරීමක් නව නීති මගින් සිදුකර නොමැති බව රජය පවසයි.
මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් ජෙනරාල් සියා උල් හක්ගේ හමුදා ආඥාදායක පාලන සමයේදී ප්‍රසිද්ධියේ කස පහර දීමට පවා ලක්වූ සයිඩි පැවසුවේ, මීට පෙර මෙවැනි තත්ත්වයක් තමන් කිසිදා දැක නොමැති බවයි.
“මම යුද නීති පාලන සමයන්හි පවා කටයුතු කර තිබෙනවා. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත මෙවැනි සීමා සහ වාරණ පැනවීමක් මීට පෙර දැක නැහැ. මෙය යුද නීති පාලනයකටත් වඩා නරකයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
නව මාර්ගෝපදේශ අනුව, පාකිස්තානය තුළ කටයුතු කරන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් සඳහා ප්‍රතීතනය සහ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.
එමෙන්ම පාකිස්තානයේ “මතවාදයට, ස්වෛරීභාවයට, ආරක්ෂාවට හෝ මහජන සාමයට එරෙහි ක්‍රියා” සිදුකිරීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රතීතනය අවලංගු කළ හැකි බවද නව නීතිවල සඳහන් වේ.
කෙසේ වෙතත්, නීති විශාරදයන් සහ මාධ්‍යවේදීන් පෙන්වා දෙන්නේ මෙම විධිවිධාන අපැහැදිලි වන අතර ඒවා අර්ථකථනය කිරීමද අපහසු බවයි.
“නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සහ ජාත්‍යන්තර මාධ්‍ය නිදහස සීමා කරන මෙම සියලු නීති හරහා පාකිස්තානය ලෝකයට ඉතා වැරදි පණිවිඩයක් ලබාදෙමින් සිටිනවා,” යැයි නසීර් සයිඩි පැවසීය.
(The Guardian ඇසුරිනි.)


