කොරෝනා රෝගය මැඩලීමට භාවිතා කිරීමට 90%ක පමණ ඵලදායීතාවයකින් යුතු එන්නතක් නිපදවීමට ෆයිසර් (Pfizer) සහ බයෝඑන්ටෙක් (BioNTech) යන සමාගම් දෙකක් සමත්ව තිබේ. අදාළ සමාගම් පවසන්නේ එන්නත මගින් 90%ට වැඩි පිරිසකට කොවිඩ්-19 වලක්වාගත හැකි බවට මූලික විශ්ලේෂණයකින් තහවුරුව ඇති බවයි.
ෆයිසර් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඇල්බට් බෝලා පවසන්නේ “අද විද්‍යාවට හා මනුෂ්‍යත්වයට විශිෂ්ඨ දවසක්, අපගේ කොවිඩ් එන්නතේ තුන්වන අදියරේ අත්හදා බැලීම් මගින් කොරෝනා වැළැක්වීමට එන්නතට ඇති හැකියාව පිළිබඳ මූලික සාක්ෂි සපයයි.” යනුවෙනි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ මෙම එන්නත ලබාගැනීමෙන් දින 28 කට පසු එහි ක්‍රියාකාරීත්වය ඇරඹෙන අතර එය මාත්‍රා දෙකකින් සමන්විත බවයි. එක් මාත්‍රාවක් එන්නත් කර සති තුනකින් පසුව අනිත් මාත්‍රාව එන්නත් කරනු ලබයි. දෙවන මාත්‍රාවෙන් දින හතකට පසු කොරෝනා රෝගයෙන් ආරක්ෂාව ලබාගත හැකි බවද ඔහු පවසා සිටියි.
ලෝකයේ රටවල් 06 ක පුද්ගලයින් 43,538 ක් සඳහා පරීක්ෂා කර ඇති මෙම එන්නතෙන් කිසිදු ආරක්ෂිත ගැටලුවක් මතු නොවූ බවත්, නොවැම්බර් මස අවසානය වනවිට එන්නත භාවිතා කිරීම සඳහා අනුමැතිය ඉල්ලීමට අපේක්ෂා කරන බවත් සමාගම පවසයි.