ඉරාන හමුදාව විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරේ ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන පුවත් ඒජන්සි විසින් වාර්තා කළ නිවේදනයක එරට හමුදාවේ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අද අලුයම සිට ඩ්‍රෝන යානා දුසිම් ගණනක් කඳවුර වෙත යොමු කළ බවයි.
කඳවුරේ ඇමරිකානු හමුදා සහ හෙලිකොප්ටර් යානා ස්ථානගත කර තිබූ ප්‍රදේශ ප්‍රහාරයේ ඉලක්ක වූ බවද ඉරාන හමුදාව පවසයි.
ඉරානය සඳහන් කර ඇත්තේ, ලාරක් දූපතට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) සාමාජිකයන් සහ සිවිල් වැසියන් මියයෑමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
තවදුරටත් තම රටට එල්ල වන ඕනෑම හමුදා ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබාදෙන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
ඉරාන බලධාරීන් පවසා ඇත්තේ ඇමරිකාව සහ එහි ක්‍රියාමාර්ගවලට සහාය දක්වන පාර්ශ්වයන් ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම තත්ත්වය උත්සන්න වීමකට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.
මේ අතර, ඉරාන විදේශ අමාත්‍යාංශය වෙනම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙතද ඉරාන සන්නද්ධ හමුදා ප්‍රහාර එල්ල කළ බවයි.
එම කඳවුරු ලාරක් දූපතට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරය දියත් කිරීමට සහ එයට සහාය දැක්වීමට භාවිත කළ බව ඉරාන විදේශ අමාත්‍යාංශය චෝදනා කර තිබේ.
එම ඇමරිකානු ප්‍රහාරයෙන් ඉරාන සන්නද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් මියගොස් තුවාල ලැබූ බවද ඉරානය පවසයි.
ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය සහ ඇමරිකාව අතර පවතින චෝදනා හා ප්‍රතිචාර හේතුවෙන් කලාපීය ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වීමේ අවදානමක් මතුව තිබේ.


