ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස සලකා බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණයට එරෙහිව ගොනු කළ නඩුවෙන් ජයග්‍රහණය කර තිබේ.
අභියාචනාධිකරණය සඳුදා (31) විවෘත අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ තීරණය අවලංගු කර ඇත.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද අධිකරණයේ පැමිණ සිටියහ.
මෙම ගැටලුව ආරම්භ වූයේ 2024 ඔක්තෝබර් මාසයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජාතික කණ්ඩායම් සඳහා ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වර්ගීකරණය කර, ඒ අනුව අත්තිකාරම් පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීමට තීරණය කිරීමත් සමඟය.
එම තීරණය අතීත කාලයටද බලපාන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබුණි.
පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල ගිවිසුම්ගත ක්‍රීඩකයන් ඔවුන්ගේ කණ්ඩායම් නායකයන් හරහා මෙම තීරණයට අභියෝග කළේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොව ස්වාධීන සේවා සපයන්නන් ලෙස සැලකිය යුතු බව පවසමිනි.
ක්‍රීඩකයන් පෙන්වා දී තිබුණේ තමන්ට සේවකයෙකු සහ සේවායෝජකයෙකු අතර සම්බන්ධතාවයකදී සාමාන්‍යයෙන් ලැබෙන EPF, ETF, පාරිතෝෂික, වාර්ෂික නිවාඩු සහ මාතෘ නිවාඩු වැනි ප්රතිලාභ නොලැබෙන බවයි.
එමෙන්ම බදු තීරණය අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වෘත්තීය ගිවිසුම් යටතේ ලැබිය යුතු ගෙවීම් මාස කිහිපයක් රඳවාගෙන තිබූ බවද ඔවුහු අධිකරණයට පවසා තිබුණහ.
ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ට අනුව, පිරිමි සහ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ගිවිසුම්ගත ක්‍රීඩකයන් 50කට වැඩි පිරිසක් දිවුරුම් ප්‍රකාශ මගින් තම ගැටලු අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබේ.
පිරිමි ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා තීන්දුවෙන් පසු පැවසුවේ, නඩුව ගොනු කළ අවස්ථාවේදී ක්‍රීඩකයන් බදු ගෙවීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට වැරදි මතයක් සමාජය තුළ ඇති වූ බවයි.
ඔහු අවධාරණය කළේ ක්‍රීඩකයන් අභියෝග කළේ බදු ගෙවීමට නොව, තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් ලෙස වැරදි ලෙස වර්ගීකරණය කර APIT අය කිරීමට ගත් තීරණයට බවයි.
මේ අතර, “ක්‍රීඩකයන්” ස්වාධීන සේවා සපයන්නන් ලෙස පැහැදිලිව වර්ගීකරණය කරන ලද ආදායම් බදු පනතේ සංශෝධනයක් සම්බන්ධයෙන්ද නඩු විභාගය අතරතුර අවධානය යොමු වී තිබුණි.
කෙසේ වෙතත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම සංශෝධනය අදාළ පෙත්සම්කරුවන්ට බල නොපාන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුම්ගත සම්බන්ධතාව හේතුවෙන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සේවකයන් ලෙස සැලකිය යුතු බවත් තර්ක කර තිබුණි.
අභියාචනාධිකරණය දෙපාර්ශ්වයටම වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව අගෝස්තු 31 වැනිදා තීන්දුව ලබාදීමට නියම කර තිබුණි.
ඒ අනුව ලබාදුන් තීන්දුවෙන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සේවකයන් ලෙස වර්ගීකරණය කර අතීතයට බලපාන ලෙස APIT අය කිරීමට ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තීරණයට අභියෝගය ජයගැනීමට ක්‍රීඩකයන්ට හැකි වී තිබේ.


