ශ්‍රී ලංකාවේ ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තිකයන් සඳහා අනිවාර්ය ලියාපදිංචිය, වෘත්තීය බලපත්‍ර සහ තත්ත්ව සහතික කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
Sunday Observer වාර්තාවකට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර ඇත්තේ අධ්‍යාපන සභාවක් (Education Council) ස්ථාපිත කිරීම සඳහා නීති සම්පාදන කටයුතු කඩිනම් කර ඇති බවයි.
කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවක නිර්දේශ සහ පසුව සිදු කළ සමාලෝචන මත මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇත.
අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමිතීන් සහ ගුණාත්මකභාවය ශක්තිමත් කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම සභාව පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
යෝජිත අධ්‍යාපන සභාව යටතේ ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන උපදේශකවරුන්, ගුරු අධ්‍යාපනඥයන් සහ අධ්‍යාපන පරිපාලකයන් නියාමනය කිරීමට නියමිතය.
සභාවේ ප්‍රධාන කාර්යයන් ලෙස,
- අධ්‍යාපන වෘත්තීන් සඳහා ප්රමිතීන් සකස් කිරීම
- වෘත්තිකයන් ලියාපදිංචි කිරීම
- වෘත්තීය බලපත්‍ර නිකුත් කිරීම
- තත්ත්ව සහතික කිරීම
- ප්‍රතීතනය ලබාදීම
- ගුරුවරුන්ගේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සඳහා වෘත්තීය ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම
යන කරුණු ඇතුළත් වේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ මෙම නියාමන රාමුව පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහාද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.
රජයේ අරමුණ වන්නේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය ප්රමිතීන් සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


