STF වැටලීම්වලදී ගංජා පැළ ටොන් 4.5කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ වෙහෙරගල මහ ඇළ ආශ්‍රිතව අක්කර 2ක ඉඩමක අනවසරයෙන් වගා කර තිබූ මහා පරිමාණ ගංජා වගාවක් වටලා කිලෝග්‍රෑම් 1481කට වැඩි බරැති ගංජා පැළ 18,815ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී අතිරේක වියළි ගංජා කිලෝග්‍රෑම් 37ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමෙන් අනතුරුව අවුරුදු 42 ත් 58 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ උණ්ඩ 03ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා තිස්සමහාරාම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයාගේ අධිකරණ නියෝගයකට අනුව වැටලීමේදී අත්අඩංගුවට ගත් මුළු ගංජා පැළ තොගය ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

දැනට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ගංජා යොදා ගනිමින් දේශීය ඖෂධ වර්ග 74ක් නිෂ්පාදනය කරන බව වාර්තා වේ

මේ අතර, පසුගිය වසරක කාලය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් ගංජා පැළ කිලෝග්‍රෑම් 4,500කට වැඩි ප්‍රමාණයක් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *