Ne-Yoට එරෙහිව නඩුවක්: ඩොලර් 284,000කට වැඩි මුදලක් ඉල්ලා ශ්‍රී ලාංකික ප්‍රවර්ධකයෙකු අධිකරණයට

ඇමෙරිකානු R&B ගායක Ne-Yoගේ කොළඹ ප්‍රසංගය අවලංගු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ප්‍රසංග ප්‍රවර්ධන සමාගමක් වන Brown Boy Presents විසින් ඇමෙරිකාවේදී නඩුවක් ගොනු කර තිබේ.

Billboard වාර්තා කරන පරිදි, Ne-Yo වෙත කල්තියා ගෙවා ඇති ඇමෙරිකානු ඩොලර් 284,000කට වැඩි මුදලක් ආපසු ලබාදෙන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනු කර ඇති අතර, ගිවිසුම් සම්බන්ධ සිවිල් හිමිකම් කිහිපයක්ද එමගින් ඉදිරිපත් කර තිබේ.

සැප්තැම්බර් 4 වැනිදා ගොනු කළ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස Ne-Yo, ඔහුට අයත් Compound Touring සමාගම සහ ඔහුගේ ප්‍රසංග වෙන්කිරීම් නියෝජිතායතනය වන Independent Artist Group (IAG) නම් කර තිබේ.

Billboard වාර්තාවට අනුව, Brown Boy Presents සමාගම 2025 දෙසැම්බර් 28 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා Ne-Yo සමඟ ගිවිසුමකට එළඹ තිබිණි.

එම ගිවිසුම යටතේ Ne-Yoට ඇමෙරිකානු ඩොලර් 325,000ක ස්ථාවර ප්‍රසංග ගාස්තුවක් හිමිවීමට නියමිතව තිබූ අතර, ඊට අමතරව ප්‍රවේශපත්‍ර අලෙවිය මත ප්‍රසාද දීමනා, ගමන් සහ නවාතැන් පහසුකම්ද ඇතුළත් වී තිබූ බව සඳහන්ය.

ප්‍රසංගය පැවැත්වීමට පෙර එකඟ වූ ගාස්තුවෙන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් 284,460ක් ගෙවා තිබූ බව Brown Boy Presents පවසයි.

කෙසේ වෙතත්, දෙසැම්බර් මස මුලදී Ne-Yo එම ප්‍රසංගයෙන් ඉවත් වීම හේතුවෙන් ප්‍රසංගය පැවැත්වීමට නොහැකි වී තිබේ.

එම අවස්ථාවේදී Ne-Yoගේ කණ්ඩායම පවසා තිබුණේ, Brown Boy Presents විසින් එකඟ වූ අත්තිකාරම් මුදල සම්පූර්ණයෙන් ගෙවා නොමැති බවත්, ගිවිසුමට අනුව ගමන් සහ නවාතැන් පහසුකම් සකස් කර නොමැති බවත්ය.

ඔවුන් පෙන්වා දී තිබුණේ ප්‍රවර්ධකයා ඇමෙරිකානු ඩොලර් 284,000කට ආසන්න මුදලක් පමණක් ගෙවා ඇති බවයි.

එම ගිවිසුම් කඩකිරීම හේතුවෙන් දැනටමත් ගෙවා ඇති මුදල අලාභයක් ලෙස රඳවා ගන්නා බවද Ne-Yoගේ කණ්ඩායම ප්‍රවර්ධකයාට දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, Brown Boy Presents සිය නඩුවෙන් චෝදනා කරන්නේ ගිවිසුම කඩ කළේ Ne-Yo සහ ඔහුගේ නියෝජිතයන් බවයි.

පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් සඳහා අධික වියදම් සහිත ගුවන් ගමන් පහසුකම් සපයන ලෙස Ne-Yoගේ කණ්ඩායම ඉල්ලා සිටීම හේතුවෙන් ගිවිසුමට අදාළ තම වගකීම් ඉටු කිරීමට ප්‍රවර්ධක සමාගමට බාධා එල්ල වූ බවද එම සමාගම චෝදනා කරයි.

එම ගුවන් ගමන් සඳහා අවසානයේ වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් 93,000කට ආසන්න වූ බවද නඩුවේ සඳහන් කර ඇත.

නොවැම්බර් අගදී ශ්‍රී ලංකාවට බලපෑ ඩිට්වා සුළි කුණාටුව සහ ඉන් ඇති වූ ආර්ථික බලපෑම සම්බන්ධයෙන්ද නඩුවේ කරුණු දක්වා තිබේ.

එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පරිසරයට සහ ප්‍රවර්ධක සමාගමේ මෙහෙයුම් කටයුතුවලට බලපෑ බව Brown Boy Presents පවසයි.

මේ වනවිට ප්‍රවර්ධක සමාගම Ne-Yoගේ කණ්ඩායමට ගෙවා ඇති ඇමෙරිකානු ඩොලර් 284,000කට වැඩි මුදල ආපසු ලබාදෙන ලෙසත්, ප්‍රසංගය අවලංගු කිරීම හේතුවෙන් සිදු වූ පාඩු සඳහා වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා තිබේ.

ප්‍රවේශපත්‍ර ආපසු ගෙවීමේ ගාස්තු, අනුග්‍රාහකයන් සම්බන්ධ පාඩු මෙන්ම ස්ථානය සහ ප්‍රසංග නිෂ්පාදනය සඳහා දැරූ වියදම්ද එම අමතර පාඩු අතරට ඇතුළත් බව Billboard වාර්තා කරයි.

කෙසේ වෙතත්, Ne-Yoගේ කණ්ඩායම නඩුවේ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ගායකයා වෙනුවෙන් Billboard වෙත අදහස් දක්වමින් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ මෙම චෝදනා “සම්පූර්ණයෙන්ම වංචනික සහ නොමඟ යවන සුළු” බවයි.

ප්‍රසංගය පැවැත්වීමට පෙර Ne-Yoට සම්පූර්ණ ගෙවීම සිදු කිරීමත්, ගායකයා සහ ඔහුගේ සමස්ත කණ්ඩායම සඳහා දෙපසටම ගමන් පහසුකම් සැලසීමත් Brown Boy Presents සමාගමේ ගිවිසුම්ගත වගකීමක් වූ බවද ඔහු පවසා තිබේ.

අදාළ වගකීම් සපුරාලීම සඳහා අවස්ථා කිහිපයක් ලබාදී තිබියදීත් ප්‍රවර්ධක සමාගම එම වගකීම් දෙකම ඉටු කිරීමට අසමත් වූ බවටද Ne-Yoගේ ප්‍රකාශකයා චෝදනා කර ඇත.

Brown Boy Presents සමාගමට සිය ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය හැකියාව නොමැති බව පසුව පැහැදිලි වූ බැවින්, ප්‍රසංගයෙන් ඉවත් වීම හැර Ne-Yoට වෙනත් විකල්පයක් නොතිබූ බවද ඔහු පවසා තිබේ.

එමෙන්ම Brown Boy Presents සමාගම සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන් විසින්ද මෙවැනිම චෝදනා ඉදිරිපත් කර ඇති බවට තම කණ්ඩායමට පසුව තොරතුරු ලැබී ඇති බවද Ne-Yoගේ නියෝජිතයෝ පවසති.

Billboard වාර්තාවට අනුව, නඩුව සම්බන්ධයෙන් IAG ආයතනය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *