තිරිඟු පිටි මිල ඉහළ යාමෙන් පිටි ආහාර කිහිපයක මිල ඉහළට

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ යාම හේතුවෙන් ජනප්‍රිය පිටි ආහාර කිහිපයක මිලද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පරාටා සහ බිත්තර රොටී ඇතුළු පිටිවලින් සකස් කරන කෙටි ආහාරවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඉඳිආප්පයක මිල රුපියලකින්ද, ආප්පයක මිල රුපියල් 2කින්ද ඉහළ යනු ඇත.

ප්‍රීමා සීලෝන් සහ සෙරන්ඩිබ් ෆ්ලෝ මිල්ස් සමාගම් විසින් අගෝස්තු 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ගත් තීරණයෙන් අනතුරුව මෙම මිල සංශෝධන සිදුකර තිබේ.

මේ අතර පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යා හැකි බව වාර්තා වේ.

තිරිඟු පිටි මිල ඉහළ යාමේ බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අගෝස්තු 31 වැනි සඳුදා රැස්වීමට නියමිතය.

පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් එම රැස්වීමේදී ගැනීමට නියමිත බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *