හිටපු ඉක්වදෝර ජනාධිපතිට වසර 5ක සිර දඬුවමක්

රටේ විශාලතම ජල විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධ දූෂණ නඩුවකදී අල්ලස් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් හිටපු ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරෙනෝට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ.

ඉක්වදෝර අධිකරණයක් විසින් 73 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා චීන රජයට අයත් සයිනෝහයිඩ්‍රෝ සමාගම සහ කොකා කොඩෝ සින්ක්ලෙයාර් ජල විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ වරදට වරදකරු කර ඇත.

මොරෙනෝට ජීවිත කාලය පුරාම කිසිදු රාජ්‍ය ධුරයක් දැරීමද තහනම් කර තිබේ.

ඇවිදීමට නොහැකි වන ආකාරයේ ශාරීරික ආබාධයකින් පෙළෙන මොරෙනෝට නියම වූ සිර දඬුවම නිවාස අඩස්සියේ සිට ගෙවීමට සිදුවන බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි.

මෙම නඩුව මොරෙනෝ ජනාධිපති ධුරයට පත්වීමට පෙර හිටපු ජනාධිපති රෆායෙල් කොරියා යටතේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයට අදාළ වේ. මොරෙනෝ 2017 වසරේදී ජනාධිපති ධුරයට පත්විය.

කොකා කොඩෝ සින්ක්ලෙයාර් ව්‍යාපෘතිය වටා වසර කිහිපයක් පුරා දූෂණ ජාලයක් ක්‍රියාත්මක වූ බවත්, එහිදී ව්‍යාපෘතියේ වටිනාකමින් සියයට 4කට පමණ සමාන මුදලක් අල්ලස් ලෙස ලබාදී ඇති බවත් පැමිණිල්ලේ නීතිඥවරු පවසා තිබේ.

මෙම දූෂණ ජාලය යටතේ ලබාදී ඇතැයි කියන අල්ලස් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 76.1ක් පමණ බව ඉක්වදෝර පැමිණිලි පාර්ශ්වය පෙන්වා දී ඇත.

මොරෙනෝගේ බිරිඳ, දියණිය සහ තවත් ඥාතීන් කිහිපදෙනෙකුද මෙම නඩුවේදී වරදකරුවන් කර තිබේ.

ඔහුගේ බිරිඳ සහ දියණියට වෙන් වෙන් වශයෙන් මාස 30ක සිර දඬුවම් නියම කර ඇති අතර, වරදකරුවන් වූ සියලු දෙනා නීති විරෝධී ලෙස ලබාගත් මුදල මෙන් තුන් ගුණයක මුදලක් ආපසු ගෙවිය යුතු බවටද අධිකරණය නියෝග කර ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වැය වන කොකා කොඩෝ සින්ක්ලෙයාර් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් සයිනෝහයිඩ්‍රෝ සමාගම 2010 වසරේදී ආරම්භ කළ අතර, 2016 වසරේදී එය ඉක්වදෝරයට භාරදී තිබේ.

කෙසේ වෙතත් පසුව එම ව්‍යාපෘතිය තාක්ෂණික සහ ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්විය.

මොරෙනෝ 2007 සිට 2013 දක්වා ඉක්වදෝරයේ උප ජනාධිපතිවරයා ලෙසත්, පසුව 2017 සිට 2021 දක්වා ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළේය.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වූ ඉක්වදෝරයේ තුන්වැනි හිටපු ජනාධිපතිවරයා බවටද ලෙනින් මොරෙනෝ පත්ව තිබේ.

ඔහුට පෙර රෆායෙල් කොරියා සහ ජමිල් මහුවාඩ් යන හිටපු ජනාධිපතිවරුන්ටද දූෂණ චෝදනා සම්බන්ධයෙන් දඬුවම් නියම කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *