කැනඩා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වැඩසටහනක් හරහා ශ්‍රී ලංකා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ DNA රසායනාගාරය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ 17ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් භාරදී තිබේ.
මෙම උපකරණ අතර RT-PCR යන්ත්‍රයක්, PCR පද්ධතියක් සහ Crime Lite Serology Kit එකක් ඇතුළත් වේ. ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (SGBV) සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් සිදුකරන අධිකරණ වෛද්‍ය විශ්ලේෂණවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමට මෙම උපකරණ උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කැනඩා රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන UNDP හි “Ensuring Justice for Victim Survivors of SGBV in Sri Lanka” ව්‍යාපෘතිය යටතේ මෙම සහාය ලබාදී ඇත. එය ශ්‍රී ලංකාවේ UNFPA සමඟ එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි.
UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් මෙම උපකරණ රජයේ රස පරීක්ෂක කාමණී පෙරේරා මහත්මිය වෙත කොළඹදී භාරදී තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියහ.
DNA රසායනාගාරයේ දැනට පවතින ක්‍රියාවලීන් පිළිබඳව සිදුකළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව මෙම උපකරණ මිලදී ගත් බව UNDP සඳහන් කරයි.
නව තාක්ෂණය හරහා ජෛව සාක්ෂි හඳුනාගැනීම, විශ්ලේෂණය කිරීම සහ DNA පැතිකඩ සකස් කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර, අධිකරණ වෛද්‍ය DNA විශ්ලේෂණවල නිරවද්‍යතාව, විශ්වසනීයත්වය සහ සාක්ෂිමය වටිනාකමද ශක්තිමත් කිරීමට එමගින් හැකි වනු ඇතැයි UNDP පවසයි.
දැනට පවතින නඩු සහ පරීක්ෂණවල පසුබෑම අඩු කිරීමටත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් මෙම උපකරණ දායක වනු ඇතැයි UNDP වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ අධිකරණ පද්ධතියේ සැලකිය යුතු ගැටලුවක් බවට පත්ව ඇති අධිකරණ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයන් විසඳීම සඳහා රජය පියවර ගනිමින් සිටින බවයි.
වත්මන් රජය බලයට පත්වන අවස්ථාවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 118ක් පැවති බවත්, එම පුරප්පාඩු පිරවීම සඳහා පුද්ගලයන් 70කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අධිකරණ වෛද්‍ය වාර්තා කඩිනමින් නිකුත් කිරීම සඳහා නිලධාරීන් රාත්‍රී 10.00 පමණ වන තෙක් සේවයේ නිරත වන බවද ඔහු පැවසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු සඳහා අවශ්‍ය අධිකරණ වෛද්‍ය වාර්තා මාස තුනක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එවැනි වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් ඇතැම් සැකකරුවන්ට ඇප ලබාගැනීමේ හැකියාවටද බලපෑම් සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍යවල ශුද්ධ බර ග්‍රෑම් 100කට අඩු නම්, සැකකරුවන්ට මහාධිකරණයෙන් ඇප ඉල්ලා සිටීමට හැකි වන පරිදි දැනට පවතින මත්ද්‍රව්‍ය නීති සංශෝධනය කිරීමටද රජය කටයුතු කරමින් සිටින බව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.


