ශ්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළේ කොටසක් ලෙස 2027 වසර මැද වනවිට ශ්‍රී ලංකා පොලිසිය සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
නවීන පොලිස් සේවයක අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන පරිදි දැනට භාවිත වන පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව සුදුසු නව නිල ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය විලාසිතා නිර්මාණ ආයතනයක් සමඟ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවද ඔහු පැවසීය.
නව නිල ඇඳුම නවීන පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපකරණ වන ශරීර කැමරා, බැටන් පොලු, විදුලි පන්දම්, මාංචු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ පහසුවෙන් රැගෙන යා හැකි ආකාරයට සැලසුම් කිරීමට අපේක්ෂා කෙරේ.
“නවීන යුගයට ගැළපෙන නිල ඇඳුමක් සමඟ පොලිසිය නැවත ගොඩනැගිය යුතුයි,” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම නිල ඇඳුම් වෙනස ශ්‍රී ලංකා පොලිසියේ පුළුල් පරිවර්තන ක්‍රියාවලියේ එක් කොටසක් පමණක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මානව සම්පත්, යටිතල පහසුකම්, තාක්ෂණය, පුහුණුව සහ පොලිස් නිලධාරීන්ගේ සේවා තත්ත්වයන් වැඩිදියුණු කිරීමද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ.
මේ අතර ලබන ජනවාරි මාසයේ සිට පොලිස් නිලධාරීන් සඳහා අවදානම් දීමනාවක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත්, පොලිස් සේවයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින උසස්වීම් සම්බන්ධ ගැටලු විසඳීමටද පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.
පොලිස් සේවයේ පවතින නිලධාරී හිඟය විසඳීම සඳහා නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමටද රජය අනුමැතිය ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය. ඇතැම් පොලිස් නිලධාරීන්ට පැය 12ත් 18ත් අතර දීර්ඝ සේවා මුරවල නිරත වීමට සිදුවී ඇත්තේ මෙම නිලධාරී හිඟය හේතුවෙන් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙහෙයුම් කටයුතු සඳහා නව යතුරුපැදි සහ සිංගල් කැබ් රථ ලබාදීම, පොලිස් පහසුකම් නවීකරණය කිරීම මෙන්ම පොලිස් මූලස්ථානය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමද රජයේ සැලසුම් අතර වේ.
ශ්‍රී ලංකා පොලිසිය සිය රාජකාරි කාර්යක්ෂමව ඉටු කිරීමට අවශ්‍ය මානව සම්පත්, තාක්ෂණය සහ යටිතල පහසුකම්වලින් සමන්විත නවීන මෙන්ම ගෞරවනීය සේවාවක් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


