කටුනායකට එන යන අභිරහස් “සුදු ප්ලේන්”

අවස්ථා කිහිපයකදීම ලාංඡනයක්වත් නොමැති අභිරහස් “සුදු ප්ලේන්” කිහිපයක් කටුනායකට ආ ගිය බව මාධ්‍ය වලින් වාර්තා වුණු බව ඔබට මතක ඇති.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඇමරිකානු රහස් ඔත්තු සේවයට සේවා සපයන“වෙස්ටන් ග්ලෝබල් එයාර්ලයින්ස්” නම් මේ සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් පසුගිය 28 වනදා කටුනායක ගුවන් තොටට ගොඩ බස්වා තිබේ. අංක N546JN යටතේ ලියාපදිංචි කොට ඇති එම යානය බෙල්ජියමේ සිට මෙරටට පැමිණි බව දැනගන්නට ලැබෙන අතර සුපුරුදු පරිදි මෙහි රැගෙන ආවේ මොනවාද යන්න පිළිබඳව මෙරට කිසිඳු ආයතනයකට හෙළි නොකිරීමට ඔවුන් වගබලා ගෙන තිබේ.

සිවිල් ගුවන් සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති මේ ගුවන් සමාගම ඇමරිකානු රජය සමඟ “කොන්ත්‍රාත්තුවක්” අත්සන් කොට ඇත. මේ  සිවිල් ගුවන් සමාගමේ මුල්පුටුවක් ඇමරිකානු රහස් ඔත්තු සේවයේ හෙවත් CIA ආයතනයට සම්බන්ධ පුද්ගලයෙකු විසින් හොබවනු ලබනවා.

මේ ගුවන් යානා මෙරටට පැමිණි හේතුව “සේවා ලබාගැනීම” සහ  ලෙස සඳහන් වූවවත් මෙහි ප්‍රවාහනය කරන්නේ මොනවාද? මෙහි ගමන් ගන්නා පුද්ගලයින් පිළිබඳව මෙරට කිසිම ආයතනයකට දන්වා නැත. “ඇක්සා” නමින් හඳුන්වන “රට උකසට දෙන” ගිවිසුම වත් අත්සන් කර නොමැති පසුබිමක “හිතු මනාපේ” ඇවිත් අපිව බලලා යන මේ අභිරහස් “සුදු ප්ලේන්” ගැන තිබෙන්නේ එතරම් හොඳ ඉතිහාසයක් නම් නොවේ.

මේ සමාගමට අයත් ඇතැම් ගුවන් යානා වල සුදු පැහැය හැරෙන්නට කිසිඳු වර්ණයක් ගල්වා නැත. එමෙන්ම කිසිඳු ලාංඡනයක් හෝ ධජයක් ප්‍රදර්ශනය වන්නේ ද නැත.

“රතු පැල්ලම”

“සුදු ප්ලේන්” ගැන කියන්නට යන මේ කථාව නම් එතරම් “සුදු” නොවේ.

වර්ෂ 2016 පෙබරවාරි මස 13 වන දින බෙල්ජයමේ සිට ජර්මනියේ මියුනිච් නුවර වෙතත් එතැනින් දකුණු අප්‍රිකාව බලාද ඉහත කී “අභිරහස් සුදු ප්ලේන්” එකක් පිටත්වී තිබිණි. ලියාපදිංචි අංක N545JN ලෙස සටහන් වූ එම ගුවන් යානයේ එම අංකය හැරෙන්නට වෙනත් කිසිඳු සලකුණක් නොවීය.

ගුවන් ගමන අතරතුරදී අසල්වැසි සිම්බාබ්වේ හි හරාරේ ගුවන් තොටුපලට මේ “සුදු ප්ලේන්” එක ගොඩබස්වන්නේ හදිසි ඉන්ධන අවශ්‍යතාවයක් ලෙස  පවසමිනි. එම යානයේ “රාජතාන්ත්‍රික” බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන්නේ යැයි සිම්බාබ්වේ බලධාරීන් වෙත පවසා තිබිණි.

හරාරේ ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය විසින් එම ගුවන් යානයේ බඳ කොටසේ  අසාමාන්‍ය ලෙස රතු පැහැති යමක් තැවරී ඇතිබව නිරීක්ෂණය වීමෙන් අනතුරුව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයෙන් ඒ පිළිබඳව විමසා සිටින ලදි. ගුවන් නියමුවාගේ පිළිතුරු වූයේ මියුනිච් ගුවන්තොටුපල බලධාරීන් වෙතද ලබාදුන් පිළිතුරමයි. ඒ “ගුවන් ගමන අතරවාරයේදී යානයේ කුරුල්ලෙකු ගැටුනා” යන්නයි.

එහෙත් රතු පැහැති එම දියරය ගුවන් යානයේ බඳ කොටසේ පහලට වන්නට පිහිටි දොරටුවෙන් දිගින් දිගටම ගලා එන්නට වූයෙන් එය වහා පරීක්ෂා කල යුතු යැයි පවසමින් එරට බලධාරීන් විසින් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කලේය. ගුවන් යානයේ එම දොර විවර කරනවාත් සමඟම රුධිරය ගලන මල සිරුරක් එහි ඇති බව බලධාරීන්ට දැකගත හැකි විය. මීට අමතරව පොලිතීන් ආවරණ වත් ඉවත් නොකල අලුත්ම දකුණු අප්‍රිකානු එනම් රෑන්ඩ් මුදල් නෝට්ටු බණ්ඩල ටොන් 67 ක් ද එහි විය.

බිලියන ගණනක් වන මේ මුදල් තොගය පිළිබඳව දකුණු අප්‍රිකානු රජය පවසා සිටියේ මෙතරම් මුදල් ප්‍රමාණයක් ගැණ තම රජය නොදන්නා බවයි. කෙසේ නමුත් පසුව මේ මුදල් තොගය දකුණු අප්‍රිකානු රජයට අයත් බවට ඔවුන් නිවේදනය කරන ලදි.

මියගිය පුද්ගලයා ගුවන් යානයට ගොඩවූයේ කෙසේ ද? ඔහු කවුද? කුමක් පිණිස යානයට ගොඩවූයේද? මේ කිසිඳු ප්‍රශ්ණයකට “අභිරහස් ගුවන් යානයේ” කාර්යමණ්ඩලය සතුව පිළිතුරු නොතිබුණි. මල සිරුර පිළිබඳව ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කිසිවක් නොදන්නා බව බලධාරීන් හමුවේ පවසා සිටින ලදි.

මරණයට හේතුව සිරුරට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීම බවට තීරණය කෙරූ සිම්බාබ්වේ බලධාරීන් යානයේ කාර්ය මණ්ඩලය වහාම නිදහස් කොට යානාව නැවත දකුණු අප්‍රිකාව බලා පිටත් වන්නට පහසුකම් සලසා දුන්නේ නොවිසඳුනු අභිරහසක් ලෝකයට ඉතිරි කරමිනි.

ඔක්සිජන් හිඟවීම නිසා මියගිය පුද්ගලයෙකුගේ සිරුරෙන් රුධිරය වෑහෙන්නේ කෙසේදැයි අප නොදනියි.

මෙවන් පසුබිමක් සහිත “සුදු ප්ලේන්” අපේ රටට නිතර එන යන කාරණාව ගැන වදවෙන්නට මීටත් වඩා කරුණු අවශ්‍ය නැතැයි අපට සිතේ.

Asian mirror උපුටා පළ කිරීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *