LK reports news sinhala

සාෆිගේ තවත් සාපයක් හෙළිවෙයි

රනබාහු මුදියන්සේලාගේ තුෂාරි මංගලිකා ගුණසේකර 36 හැවිරිදි දෙදරු මවක්ය. ඇය තුන්වන දරු උපත පිණිස 2018.11.05 වැනි දින දහවල් කුරුණෑගල ශීක්‍ෂණ රෝහල වෙත ඇතුළත්වන අතර ඇය පරීක්‍ෂා කරන වෛද්‍යවරුන්ගේ නිගමනය බවට පත් වන්නේ එදින සවස සිදු කරන සිසේරියන් සැත්කමක් මගින් මංගලිකාගේ තෙවන දරු උපත සිදු කළ යුතු බවය. ඇගේ සෞඛ්‍ය තත්ත්යත් ඉපදීමට නියමිත දරුවා මවු කුස තුළ නිරෝගීව සිටිමත් හේතුවෙන් මංගලිකාව පරීක්‍ෂා කර බලන වෛද්‍යවරුන් එම නිගමනයට එළැඹෙන අතර ඉනික්බිති එම සැත්කම සිදුකරනු ලබන්නේ සිසේරියන් සැත්කම් පිළිබඳ කුරුණෑගල පමණක් නොව මේ වන විට රටපුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇති වෛද්‍ය ෂාෆි විසින්ය.

”පටස්” ගාල සිසේරියන් සැත්කම් සිදුකිරීම පිළිබඳ වාර්තා පිට වාර්තා තබා ඇති වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එම සැත්කම පිණිස ගතවන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක්ය. එපමණක් නොව ඇයට LRT සැත්කමක් සිදු කරන වෛද්‍ය ෂාෆි තම රාජකාරිය එතෙකින් නිමා කරන්නේය. මෙතැන් සිට මෙම කථාවේ ඉතිරි කොටස පවසන්නේ එම සිදුවීමට මුහුණ දුන් වැල්ලව රිකිල්ලගොමුව පදිංචි තුෂාරි මංගලිකා ගුණසේකර විසින්ය.

”බබාව එළියට ගත්තට පස්සෙ හොඳින් කිරි උරා බිව්ව. ඒත්… මාව වාට්ටුවට ඇතුළු කළාට පස්සෙ මට දරුවව දුන්නේ නෑ. බබා කෙඳිරිගානව කියල නර්ස් කෙනෙක් ඇවිත් බබාව බේබිරූම් දානව කියල අරන් ගියා. එදා රෑ බබාව මට ආපහු දුන්නෙ නෑ. ඊට පහුවෙනිද මගේ මහත්තය මාවයි බබාවයි බලන්න ආව. බේබි රූම් එකට ගිහින් තමයි මහත්තය බබාව බලන්නෙ. ඒ වෙලාවෙත් බබා හොඳින් ඉන්නව කියල මහත්තය දැකල තියෙනව.”

”එදා හවස තමයි මම ආපහු බබාව දකින්නෙ. ඒ වෙලාවෙ බබාව මැෂිමකට සම්බන්ධ කරල තිබුණා. ඒ වෙලාවෙ බබා හිටියේ දෙවැනි බේබි රූම් එකේ. ඊට පහුවෙනිදා (2018.11.06) බබාව එකෝ පරීක්‍ෂණයකට අරන් යනව කියල මිසීල කිව්ව. හත්වැනිදා තමයි එම පරීක්‍ෂණය සිදු කළේ. බබාව ට්‍රොලියක තියන් ඒ සඳහා අරන් ගියා. මමත් ඒ ස්ථානයට ගියා. එතනදී බබාව පරීක්‍ෂා කළ වෛද්‍යවරයෙක් කිව්ව බබාගෙ පපුවෙ සිදුරක් තියෙනව ලොකු වෙනකොට ඒක වැහිල යයි බයවෙන්න දෙයක් නෑ කියල. නැවතත් බබාගෙ එකෝ පරීක්‍ෂණයක් කරන්න දින දීල (2018.11.13දිනය) බෙහෙත් වර්ග දෙකක් ලියලා දුන්න. අපි ඒකත් ගෙනත් දුන්නා. එදා රෑ මට කිව්ව බබා ඉන්න බේබි රූම් එකට නැප්කින් එකක් අරන් එන්න කියල. මම ඒකත් කළා. ඒ වෙලාවෙ තමයි මට කිව්වෙ මගෙ දරුව නැතිවෙලා කියලා.”

එය මංගලිකාගේ ජීවිත කාලය තුළ උදාවූ දීර්ඝතම රාත‍්‍රියක් වී ඇත. සිය තුන්වන දරු උපත සිදු කිරීමෙන් දිනකට පසු මල් කැකුළක් බඳු දරුපැටියා මියයන අතර පසුදා උදයේ ඇගේ නිවසේ සිට පැමිණෙන ඥාතීන් විසින් සිඟිත්තියගේ නිසල දේහයේ අවසන් කටයුතු පිණිස මල්කඩුවාව කනත්ත වෙත රැගෙන ගොස් ඇත. එහිදී දරුවාගේ එක් පාදයක ඇති තුවාලයක් දකින පවුලේ උදවිය ඒ පිළිබඳව විමසිලිමත් වන අතර සිදුව ඇති විපතින් කම්පනයට පත්ව සිටින ඔවුන් ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලීමකින් තොරව අලූත උපන් බිලිඳියගේ පණසුන් සිරුර පස්යට මිහිදන් කර ඇත.

සත්‍ය කෙදිනකවත් මිහිදන් කළ නොහැකිය. කාලය ගතවීමත් සම`ග වෛද්‍ය ෂාෆි පිළිබඳ මාධ්‍ය මගින් දිනපතා පාහේ විවිධ වාර්තා පළවන්නට ගත් අතර ඒ හරහා කියවෙමින් පැවැතියේ සිසේරියන් සැත්කම්වලට අමතරව වඳ සැත්කම් සිදු කිරීම අතින් ෂාෆිට සමකළ හැකි කිසිවෙක් මිහිපිට නොවන බවය. ඒ පිළිබඳ පසුගිය වකවානුව පුරා විවිධ පැමිණිලි ගලා එන්නට වූ අතර ඉන් වැඩිදුරටත් ප‍්‍රකාශ වූවේ ෂාෆිගේ සාපයට ලක්වූ අම්මාවරුන්ගේ දුක් අඳෝනාවන්ය. කුරුණෑගල පමණක් නොව රටම උණුසුම් කළ සිදුවීමක් බවට පත් වෛද්‍ය ෂාෆි සහබ්දීන් සම්බන්ධ සිද්ධියේ පරීක්‍ෂණ කටයුතු ඉබි ගමනකින් තවමත් සිදුවන අතර වෛද්‍ය ෂාෆි සහබ්දීන් ධනය, බලය අතින්ද පොහොසත්වීම හේතුවෙන් රටේ නීතිය පවා ඔහු අබියස හැසිරෙමින් පවතින්නේ පැත්තකට ඇලවෙන ස්වරූපයෙන්ය.

කෙසේ වෙතත් වෛද්‍ය ෂාෆි සහබ්දීන්ගේ අකටයුතුකම් පිළිබඳ මාධ්‍ය හරහා දැනුවත් වන ඉහත නම් සඳහන් රණබාහු මුදියන්සේලාගේ තුෂාරි මංගලිකා ගුණසේකරට මියගිය තම සිඟිත්තිය සිහියට නැෙ`ගන අතර සිඟිත්තියගේ මරණය පිළිබඳ විවිධ සැක සංකා ඇගේ සිත තුළ උපදින්නට ගෙන ඇත. තම සිඟිත්තිය මිය ගියේ ෂාෆි ඇතුළු වෛද්‍යවරුන්ගේ වරදින්ද? මරණය සම්බන්ධ මරණ පරීක්‍ෂණයක් සිදු නොකළේ මන්ද? දරුවාගේ එක් පාදයක දරුණු කැපුම් තුවාලයක් ඇති වූවේ කෙසේද? මේ ආදී සිතුවිලි විසින් ඇයව පීඩාවට පත් කරන්නට වූ අතර ඒ සම්බන්ධව ඇය විසින් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

ඒ අනුව තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් ඇය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින අතර එම ඉල්ලා සිටීමෙන් අනතුරුව මේ වන විට මාස කීපයක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්‍ෂණයක් නැත. ඒ පිළිබඳ මියගිය සිඟිත්තියගේ මව වන තුෂාරි මංගලිකා ගුණසේකර පවසා සිටින්නේ මෙවැන්නක්ය.

රූපවාහිනියෙන් වෛද්‍ය ෂාෆි පිළිබඳ වාර්තාවෙන දේවල් දැක්කට පස්සෙ මගෙ සැකය වැඩි වුණා. දරුවගෙ කකුලේ තිබුණ තුවාලය ගැන මට ගොඩක් සැකයි. දරුවගෙ කකුලෙ තුවාලයක් තියෙන බව මට කවුරුවත් කිව්වෙ නෑ. දරුවගෙ විළුඹ අවට ගොඩක් කළු වෙලා තිබුණ. ඒ ගැන අපෙන් හැංගුව. දරුවට හුසම ගන්න බෑ කියල තමයි මගෙන් අරගෙන ගිහින් බේබි රූම් දැම්මෙ. නමුත් මුලදී දරුවා හොඳින් හුස්ම ගත්ත. පස්සෙ තමයි මැෂින්වලට ගහල හිටියෙ.

කකුලට තුවාලයක් ආවෙ කොහොමද? ඒ තුවාලය ඇති වුණේ මොනව වෙලාද? මාව සීසර් කරද්දී යම් ආකාරයකින් දරුවට තුවාල වුණාද? මේව ගැන මට ලොකු සැකයක් පවතිනව. ඒ හින්ද මගේ දරුවගෙ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සියලූ දෙනා සම්බන්ධව නීතිමය පියවර ගන්න කියල මම ඉල්ලා සිටිනව.

ඇගේ ඉල්ලීමට මේ වන තෙක් කිසිවෙක් ඇහුම්කන්දී නැත. ඇය පවසා සිටින ආකාරයට පළමුව මේ සම්බන්ධ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව ඉල්ලා ඇතත් අද වන තෙක් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් සිදුවී නැත. ඒ හේතුවෙන් තවදුරටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳ ඇයට විශ්වාසයක් නැත. ඇය පවසා සිටින්නේ කුමක් හෝ හේතුවක් මත එම පරීක්‍ෂණ කටයුත්තට බාලගිරි දෝෂය හරස්වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව හරහා ඉදිරියේදී හෝ සාධාරණයක් බලාපොරොත්තුවීම ගින්දරෙන් සිසිලක් පැතීම වැනි නිරර්ථක අපේක්‍ෂාවක් පමණක් බවය.

මේ වන වට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති තුෂාරි මංගලිකා ගුණසේකර ඒ හරහා ඉල්ලා සිටින්නේ අධිකරණ නියෝග මත මෘතදේහය නැවත ගොඩ ගෙන ඒ පිළිබඳ අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු කරන ලෙසත් ඒ හරහා තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙසත්ය.

මවක් ලෙස ඇය විසින් ඇයට අත්විඳින්නට සිදුවූ අභාග්‍යසම්පන්න සිදුවීමක් සහ එයට මේ වන තෙක් සාධාරණයක් ඉටුනොවීම පිළිබඳ දුක්ගැනවිල්ල නීතිය ඉදිරියට රැගෙන ගොස් ඇත. දැන් සිදුවිය යුත්තේ ඇත්ත නැත්ත කුමක්ද යන්න පිළිබඳව සත්‍යය රටේ නීතියට අනුව විසඳීමය. මෙම සිදුවීම සම්බන්ධයෙන් නැවතත් රටම විමසිලිමත් දෑසින් පසුවන බැවින් නීතියේ දෙවඟන මෙම සිදුවීම දෙස බලන ආකාරය පිළිබඳ රටම පසුවන්නේ විමසිලිමත් දෑසින්ය.

(උපුටා ගැනීම – දිවයින/ Image – Colombo Telegraph)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *