2030 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා වැඩි කිරීමට රජය අපේක්ෂා කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට සහාය වීම සඳහා වෙළෙඳ, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ නිපුණතා සහිත රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අඛණ්ඩ වැඩසටහන් සමාලෝචනය කිරීම සහ ඉදිරි උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේදී සිදු විය.
වෙළෙඳ වශයෙන් වැදගත් වෙළෙඳපොළ 23ක ශ්‍රී ලංකා දූත මණ්ඩල නියෝජනය කරන වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේදී ඔවුන්ගේ භූමිකාව ඉතා වැදගත් බවයි.
වෙළෙඳපොළ සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම හරහා මැනිය හැකි ප්‍රතිඵල ලබාදීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ඉලක්ක සමඟ තම කටයුතු සමපාත කරන ලෙසද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වාණිජ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එම සැලැස්මේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ 2030 වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36කට වඩා ඉහළ නැංවීමයි.


