ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය කිරීමේ අරමුණින් රජය හඳුන්වා දුන් “ජීව නගර” (Life Cities) වැඩසටහනේ පළමු අදියර ආරම්භ කර තිබේ.
2026 අයවැය යෝජනාවක් යටතේ හඳුන්වා දුන් මෙම වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 11 වැනිදා බත්තරමුල්ලේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව 2026 වසරේදී සංවර්ධනය කිරීම සඳහා යාපනය, මාතර, මඩකලපුව, බදුල්ල, මාතලේ, තඹුත්තේගම, වවුනියාව, හැටන්, හලාවත සහ ඇහැලියගොඩ යන නගර 10 තෝරාගෙන තිබේ.
2027 වසරේදී සංවර්ධනය කිරීමට තවත් නගර 16ක් තෝරාගෙන ඇති අතර, ඒවා දෙහිවල, කළුතර, පානදුර, මතුගම, ගාල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, කල්මුණේ, අකුරැස්ස, කුරුණෑගල, පුත්තලම, නාත්තණ්ඩිය, රත්නපුර, ත්‍රිකුණාමලය, කන්තලේ සහ ඇල්ල යන නගර වේ.
නාගරික සංවර්ධනය සඳහා ක්‍රමවත්, ප්‍රමුඛතා මත පදනම් වූ සහ දත්ත මත මෙහෙයවන ප්‍රවේශයක් හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ බව රජය පවසයි.
ප්‍රමාණවත් සැලසුම්කරණයක් නොමැති වීම, ශක්‍යතා අධ්‍යයනවල අඩුපාඩු සහ රාජ්‍ය ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් නගර සංවර්ධනයේදී මතුවන ගැටලු විසඳීම කෙරෙහිද වැඩසටහන යටතේ අවධානය යොමු කෙරේ.
යටිතල පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා පුළුල් කිරීම සහ සංචාරක හැකියාව ඉහළ නැංවීම ඔස්සේ කාර්යක්ෂම, තිරසර සහ ආයෝජන හිතකාමී නාගරික මධ්‍යස්ථාන නිර්මාණය කිරීම වැඩසටහනේ අරමුණු අතර වේ.
වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් එහි ජාතික සැලැස්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
එමෙන්ම 2026 වසරේ සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති නගර 10ට අදාළ ව්‍යාපෘති සැලසුම්ද එම නගර ආවරණය වන පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙත භාරදීම සිදු කෙරිණි.


