හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත වඩාත් වේගයෙන් හා කාර්යක්ෂමව ළඟාවීම සඳහා යතුරුපැදි මූලික හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වාදීමට 1990 සුවසැරිය පදනම තීරණය කර තිබේ.
මෙම නව සේවාව මුලින්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව පදනම සඳහන් කළේය. අධික රථවාහන තදබදය සහ මාර්ග අවහිරතා හේතුවෙන් ගිලන් රථ සේවා ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වන අවස්ථා සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට සැලසුම් කර ඇත.
ගිලන් රථයක් පැමිණෙන තෙක් රෝගීන්ට ක්ෂණික ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය සහාය ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව පදනම පැවසීය.
මෙම වැඩසටහන යටතේ විශේෂ පුහුණුව ලැබූ වෛද්‍ය නිලධාරීන් යොදවා ඇති අතර, අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත යතුරුපැදි හදිසි අවස්ථා සඳහා යොදා ගැනීමට නියමිතය.
කොළඹ සහ අනෙකුත් නාගරික ප්‍රදේශවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව 1990 සුවසැරිය පදනම සඳහන් කළේය.

