හෙට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක්

විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් හෙට (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකරන බව විදුලි වෘත්තිය සමිති පවසයි.

කෙසේවෙතත් එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔවුන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා,

“හෙට විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල, වැඩබිම්වලින් එළියට බැහැලා 11 වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය වෙත පැමිණෙනවා. අනතුරුව අපි දවල් 12ට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී. අනතුරුව තෙල් වරාය ඒකාබද්ධ සන්ධානය විදිය ට ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය ඒකාබද්ධ සන්ධානය විදියට අපි සන්දේශ තුනක් අරගෙන ජනාධිපතිවරයා හමුවීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. විදුලිබල මණ්ඩල සේවකයෝ හෙට රට පුරා ලෙඩ නිවාඩු වාර්තා කරලා තමා කොළඹට එන්නේ. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති යැයි කියා ගන්නා සුබ සාධක සංගම් කිහිපයක් එකතු කරගෙන අද රාත්‍රියෙත් විවිධ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාමාර්ගය අඬපණ කිරීමට සුදානම් වෙනවා. අපි තාමත් වැඩවර්ජනයකට දින වකවානු තීරණය නොකළේ මේ රජය ජනතාව පීඩාවට පත්කරලා තියෙන නිසයි ආණ්ඩුව. ඒ නිසා ආණ්ඩුවට කියනවා වහාම මේ ගිවිසුම ඉල්ලා අස්කර ගන්න ඕනේ.”

‍මේ අතර වැටුප් ගැටලුව මුල් කර ගනිමින් හෙට දිනයේදී තැපැල් සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ පවතින ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් හෙට දිනය තුළ වයඹ පළාතේ රෝහල්වල වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *