හිටපු ආරක්ෂක ලේකම් පාස්කු කොමිසම හමුවේ කිව්ව කරුණු බොරු – හිටපු ජනපති මෛත්‍රී කියයි

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා තමා සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ දී කරනු ලැබූ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

“ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය දිනවල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශ පිළිබඳ මාධ්‍ය ආයතන මගින් විශාල ප්‍රචාරණයක් ලබා දී තිබුණි.

ඉහත කොමිසමේ දී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කළ බවට මාධ්‍ය මගින් ප්‍රකාශ වූ කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේශසහගත කරුණු වන අතර, මාධ්‍ය හරහා ප්‍රකාශ වූ එම කරුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවට මහජනතාව වෙත මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

යම් ලෙසක ඉදිරි දිනක දි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට කොමිසම හමුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණහොත් අදාළ සියලු ප්‍රකාශ සම්බන්ධව සත්‍ය කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි”. යනුවෙන් එහි වැඩිදුරටත් නිවේදනය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *