සුරේෂ් සලායිගේ සෞඛ්‍ය සහ නීතිමය අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලායිගේ සෞඛ්‍ය තත්ත්වය සීඝ්‍රයෙන් පිරිහීම සම්බන්ධයෙන් මානුෂීය හේතූන් මත කඩිනම් මැදිහත්වීමක් කරන ලෙස ගෝලීය ශ්‍රී ලංකා සංසදය (GSLF) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම සංසදය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටියේ මේජර් ජෙනරාල් සලේ දීර්ඝ කාලයක් පරිපාලනමය වශයෙන් රඳවා තබා නොගෙන විනිවිද භාවයෙන් යුත් අධිකරණ ක්‍රියාවලියක් හරහා ඔහු පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙසයි. ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඔහුගේ වර්තමාන භාරකාර තත්ත්වයන් සහ නරක අතට හැරෙන ශාරීරික යහපැවැත්ම පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

ඔහු ජාතියට කළ සේවය ඉස්මතු කරමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය පෙන්වා දුන්නේ ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු ලෙස මේජර් ජෙනරාල් සලේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සිය ජීවිතයේ දශක ගණනාවක් කැප කර ඇති බවයි.

විධිමත් අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකර කිසිඳු පුද්ගලයකු දීර්ඝ කාලීනව රඳවා තබා නොගත යුතු බව එම සංවිධානය කියා සිටියේය.

මේජර් ජෙනරාල් සලේ දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින බව එම සංසදය වැඩිදුරටත් පැවසීය. තම අත්අඩංගුවේ පසුවන කාලය තුළ ඔහුට කිසියම් අවාසනාවන්ත සිදුවීමක් හෝ සංකූලතාවයක් සිදු වුවහොත්, එවැනි ප්‍රතිඵලයක වගකීම අනිවාර්යයෙන්ම රැඳවුම් නියෝග නිකුත් කළ බලධාරියා ලෙස ජනාධිපති කාර්යාලයට පැවරෙන බව එම ලිපියෙන් අනතුරු අඟවා තිබේ.

මේජර් ජෙනරාල් සලේට ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීම සහතික කරන ලෙසත් ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජනාධිපතිවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *