LK reports news sinhala

සිරිපා වන්දනා සමය ඇරැඹෙන උඳුවප් පොහොය අදයි

සිරිපා වන්දනා සමය ඇරැඹෙන උතුම් උඳුවප් පුර පසළොස්වක පොහොය හෙවත් වර්ෂයේ අවසාන පොහොය දිනය අදට(11) යෙදී තිබේ.

ලංකාවාසී බෞද්ධයින්ට විශේෂයෙන් වැදගත් දිනයක් වන උඳුවප් පුර පෝය දිනයෙන් සිරිපා වන්දනා සමය ආරම්භ වන අතර මැයි මාසය දක්වා සිරිපා කරුණා කිරීමේ අවස්ථාව බැතිමතුන්ට හිමිවේ. පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ අද දිනයේය.

දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලද අතර එළැඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ අදවන් උඳුවප් පොහොය දිනකදීය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් 11 නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩම්මවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටුවීම සිදුවූ‍යේද උඳුවප් පොහොය දිනයේදීය.

උඳුවප් පොහොය නිමිත්තෙන් අද දින දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පිංකම් රැසක් සංවිධානය කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *