සමස්ත ගෝලීය ණය වේගයෙන් ඉහළ ට

සමස්ත ගෝලීය ණය මේ වසරේ දෙවැනි කාර්තුවේදී අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 307 දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශ කරයි.

එය ඉතිහාසයේ වාර්තාගත ඉහළම ගෝලීය ණය ප්‍රමාණය ලෙස දැක්වෙයි.

බැංකු ණය කප්පාදු කිරීම සඳහා පොලී අනුපාත ඉහළ දමමින් තිබියදි මෙලෙස ණය ප්‍රමාණය ඉහළ යාම විශේෂ තත්ත්වයක් බව පැවසෙයි.

මෙම ගෝලීය ණය ඉහළයාමට සංවර්ධිත රටවල ණය ගැනීම ඉහළ දායකත්වයක් දක්වා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙයි.

එලෙස ගෝලීය ණය ඉහළයාමට 80%ක දායකත්වයක් දක්වා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි සංවර්ධිත රටවල් ය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය ප්‍රකාශ කරන පරිදි ඩොලර් ට්‍රිලියන 10කින් 2023 වසරේ මුල් අර්ධයේදී ගෝලීය ණය ඉහළ ගොස් තිබුණි.

පසුගිය දශකය තුළ එලෙස ගෝලීය ණය ප්‍රමාණාත්මකව ඩොලර් ට්‍රිලියන 100කින් ඉහළයාම විශේෂත්වයකි.

මෙලෙස ගෝලීය ණය ඉහළයාමත් සමග ණය සහ දළ දේශීය නිෂ්පාදිනය අතර අනුපාතය 2023 වසරේ දෙවැනි කාර්තුවේදී 336% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙන පරිදි වර්ධනය මන්දගාමී වීම, සහ මිල ඉහළයාමේ වේගය අඩාල වීම ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය ඉහළ යාමට හේතුවකි.

පසුගිය වසර 02ක කාලයේ උද්ධමනයේ හදිසි ඉහළයාම හේතුවෙන් ණය අනුපාතයේ යම් පහතවැටීමක් දක්නට ලැබුණු බවත්, වැටුප් සහ මිල සාධක සැලකූ විට මේ වසරේ අවසානයේ ගෝලීය ණය සහ දළ දේශීය නිෂ්පාදනය අතර අනුපාතය 337% දක්වා ඉහළ යා හැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.

නැගී එන වෙළෙඳපොළ රටවල් සැලකූවිට ඉහළම ණය වර්ධනයක් වාර්තා වන්නේ චීනය, ඉන්දියාව සහ බ්‍රසීලය යන රටවලිනි.

ඉහළ ණය පොලී අනුපාත සහ ඉහළ ණය මට්ටම් හමුවේ රජයන්හි පොලී වියදම් ඉහළයාමත්, දේශීය ණය පීඩනය ඉහළයාමත් අපේක්ෂා කළ හැකි බව එම වාර්තාවේ සඳහන් ය.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාව පෙන්වා දෙන පරිදි නැගී එන වෙළෙඳපොළ රටවල ණය සහ දළ දේශිය නිෂ්පාදිනය අතර අනුපාතය තවමත් පවතින්නේ කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමිනි.

චීනය, කොරියාව සහ තායිලන්තය එම ප්‍රවණතාවට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

කෙසේ නමුත් සංවර්ධිත රටවල ආර්ථිකයන්ට බලපාන උද්ධමන පීඩනය හමුවේ පොලී අනුපාත ඉහළ නැංවිය යුතු වුවත්, එක්සත් ජනපද මහබැංකුවේ (ෆෙඩරල් රිසරිව්)  පොලී අනුපාත ලබන වසරේ මැයි මාසය දක්වා 5.25%ක් 5.5%ක් අතර පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *