සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය නවතී

“සාපය දැන් ඇති අපි එනවා කොළඹට” යන මැයෙන් සමගි ජන බලවේගයට ලබන 16වැනිදා කොළඹ හයිට් පිටියේ රැස්වීමක් පැවැත්වීමට ලබාදී තිබූ අවසරය ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගය සඳහන් කළේ, ආණ්ඩුව කුමන ගැසට් නිවේදන නිකුත් කළ ද කොළඹ දී එදින විරෝධතා රැළියක් පවත්වන බවය.

මේ පිළිබඳ අදහස් දැක්වු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,

“16 වෙනිදා සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි දැවැන්ත විරෝධතාවය එළියට ආවහම තමයි ආණ්ඩුවට මේ ගැසට් නිවේදනය මතක් වුණේ. අපි දැක්කා ආණ්ඩුව පක්ෂ සම්මේලනය නෙළුම් පොකුණේ පැවැත්වුවා. ඒකට සෞඛ්‍ය නීති රෙගුලාසි නෑ. ආණ්ඩුව මොන නීතිරීති දාලා මේක මර්දනය කරන්න හැදුවත් මේක නවත්වන්න හැදුවත් සමගි ජන බලවේගය හැටියට අපි ඒකට මුහුණදීගෙන ගොවි ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන්, රජයේ සේවකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ 16 වෙනිදාට අපේ විරෝධතාවය පවත්වනවා.”

කෙසේවෙතත් සමගි ජන බලවේගය එළඹෙන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබූ සුහද හමුව සඳහා ලබා දී තිබූ අනුමැතිය අවලංගු කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මුජිබර් අහුමාන් මහතා වෙත ලිපියක් මඟින් දන්වා තිබේ.

ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනය සැලකිල්ලට ගෙන කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා මෙම අවලංගු කිරීම කළ බව ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වේ.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්  කෙරුණි.

එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම්, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන්  නිසි බලධාරීයාගෙන් අවසර ලබාගත යුතු අතර එසේ අවසර ලබානොගෙන එවැනි ක්‍රියාකාරකම්වල නිරතවිය නොහැකි බව සඳහන් වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

“යම් යම් නීති අපට ගෙන්න වෙනවා බහුතර ජනතාවගේ රැකවරණය පිණිස. දැන් අපි දන්වා අර ගුරු උද්ඝෝෂණ තිබුණ වෙලාවේ, එකෙන් ඇති වුණ ප්‍රතිඵලයක් දන්නවා. අද අපි යම් කිසි පාලනයකට නතු කරලා මේක ඉතාමත්ම අවම ප්‍රමාණයේ මරණ සංඛ්‍යාව අවම ව්‍යාප්ත වීම කරන කොට 5,000ක් විතර ගෙනැල්ලා උද්ඝෝෂණ කරනකොට කවුද කියන්නේ මේ මාස්ක් එක ගලවලා ඔය කියල දෙවල් සිද්ධ වෙනවා ද? සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් අපට අකමැත්තෙන් හරි කියන්න වෙනවා ඉතාමත්ම හිතාමතා කරලා ව්‍යාප්ත කරන්න සංවිධානාත්මකව කරන පියවරක්ද කියලා. එහෙමනම් අපි නීතියේ රැකවරණ ගන්න ඕනේ. එකයි අපි අරන් තියෙන්නේ”

ජනඒකරාශීවීම් සඳහා නිසි බලධාරියාගෙන් අවසර ගත යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් භාණ්ඩ මිලට එරෙහිව කොළඹ දී විරෝධතාවයක් පැවැත්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *