සඳුදා සිට දුම්රිය ධාවනය සාමාන්‍ය කාලසටහනට අනුව සිදු කෙරේ

දුම්රිය කිහිපයක් හැරුණුකොට සෙසු සියලු දුම්රියයන් ලබන සඳුදා (08) දිනයේ සිට සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්තගේ මහතා පවසයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කරන්නේ ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන වායුසමනය කළ සීඝ්‍රගාමී දුම්රිය, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ, කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ධාවනය වන පුලතිසි ඇතුළු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් හැරුණුකොට සෙසු සියලුම දුම්රියන් පෙර පරිදිම ධාවනය කරන බවයි.

කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවීමට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව දුම්රිය ධාවනය කරවීමට පියවර ගෙන ඇති බැවින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම සෞඛ්‍ය ආරක්‍ෂණ ක්‍රම අනුගමනය කරන ලෙසටයි.

එමෙන්ම දුම්රියවල ආසන සංඛ්‍යාව අනුව මගීන් ප්‍රවාහනය කරන ලෙසත්, මගීන් සිටගෙන ගමන් නොකළ යුතු බවත් සෞඛ්‍ය අංශ හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇති බැවින් අත්‍යාවශ්‍යම ගමන් බිමන් සඳහා පමණක් දුම්රිය භාවිතා කරන්නැයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයා ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *