මාවනැල්ල සිද්ධියේදී පොලීසියට බලපෑම් කලේ යැයි අසාද් සාලි ගැන විමර්ශන

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී පොලීසියට බලපෑම් කිරීම පිළිඹදව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණයෙන් එම විමර්ශන කටයුතු මුල සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

2018 වසරේ දෙසැම්බර් 26 වැනිදා මාවනැල්ලේ ස්ථාන තුනක ස්ථාපිත කර තිබුණු බුදු පිළිමවලට හානි සිදුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ කෑගල්ලේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි.

එම විමර්ශන සිදු වන අතරතුර අසාද් සාලි මහතා තමාට දුරකතනයෙන් කථා කොට අදාළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මවුලවිවරයකු මඟින් බාරදෙන බව සඳහන් කළේ යැයි එවකට කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා සඳහන් කළේය.

එම ඇමතුම තමන්ට ලබාදුන්නේ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මුලින්ම ඇමතුමක් දෙමින් අසාද් සාලි කතා කරයි යනුවෙන් සඳහන් කිරීමෙන් අනතුරුව බව ද පාලිත සිරිවර්ධන මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව සඳහන් කරනු ලැබීය. අසාද් සාලි මහතා විසින් බාරදෙන බව සඳහන් වූ සැකකරුවන් වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයට සූදානමින් සිටි මාවනැල්ලලේ ඉබ්‍රාහිම් සහෝදරයන් බව ද අනාවරණය විය. එම සහෝදරයන් දෙදෙනා මේ වන විට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *