රුසියානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගණිකා වෘත්තියට යොමු කිරීම සහ ඒ සඳහා ඇය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ වසර 7ක සිරදඬුවම වසර 4ක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
විත්තිකරුවන්ගේ දරුවන්ගේ තත්ත්වය විශේෂයෙන් සලකා බලමින් මෙම තීන්දුව ලබාදී තිබේ.
විනිසුරුවරුන් වන පී. කුමාරරත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී ඇත්තේ කොළඹ මහාධිකරණය විසින් තමන් වරදකරුවන් කරමින් ලබාදුන් තීන්දුවට එරෙහිව අඹුසැමි යුවළ විසින් ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.
2019 සහ 2020 අතර කාලය තුළ රුසියානු ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගණිකා වෘත්තියට හෝ වෙනත් ලිංගික සූරාකෑමකට යොමු කිරීම සඳහා ජාවාරම් කිරීම සහ ඇය ලබාදීම සම්බන්ධ චෝදනා යටතේ මෙම යුවළ වරදකරුවන් කර තිබිණි.
පළමු විත්තිකාරිය වන බිරිඳ, වංචාවක් හෝ රැවටීමක් මගින් අදාළ කාන්තාව බඳවාගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා ගණිකා වෘත්තියට හෝ වෙනත් ලිංගික සූරාකෑමකට යොමු කිරීම සම්බන්ධයෙන් ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකාරිය වී තිබේ. ඊට අමතරව, ඇය ලබාදීම සම්බන්ධ චෝදනා තුනකටද ඇය වරදකාරිය කර ඇත.
දෙවැනි විත්තිකරු වන සැමියා අදාළ වැරදි සඳහා ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් වරදකරු කර තිබේ.
කොළඹ මහාධිකරණය පළමු විත්තිකාරියට එක් එක් චෝදනාව සඳහා වසර 7 බැගින් වූ බරපතළ සිරදඬුවම් නියම කර තිබූ අතර, එක් එක් චෝදනාව සඳහා රුපියල් 25,000 බැගින් දඩයක්ද නියම කර තිබිණි. එමෙන්ම රුපියල් 500,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
දෙවැනි විත්තිකරුටද එක් එක් චෝදනාව සඳහා වසර 7 බැගින් වූ බරපතළ සිරදඬුවම්, එක් එක් චෝදනාව සඳහා රුපියල් 25,000 බැගින් දඩ සහ රුපියල් 500,000ක වන්දියක් නියම කර තිබිණි. එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ.
අභියාචනය සලකා බැලීමේදී නීතිඥවරුන් පෙන්වාදී ඇත්තේ විත්තිකරුවන් සිරගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ දරුවන් දැඩි බලපෑමකට ලක්ව ඇති බවයි.
පළමු විත්තිකාරියට පෙර විවාහයෙන් පුතුන් දෙදෙනෙකු සිටින අතර, වර්තමාන විවාහයෙන් ලැබුණු අවුරුදු 7ක් වයසැති දියණියද ළමා රැකවරණ මධ්‍යස්ථානයක රඳවා ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
ත්‍රිරෝද රථ රියැදුරෙකු වන දෙවැනි විත්තිකරු පවුලේ එකම ආදායම් උපයන්නා බවත්, ඔහුට සිය මව සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සහෝදරියගේ වගකීමද පැවරී ඇති බවත් නීතිඥවරුන් අධිකරණයට පෙන්වාදී ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාද විත්තිකරුවන්ගේ දරුවන් මුහුණ දී ඇති අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දඬුවම නැවත සලකා බැලීම සුදුසු බවට එකඟ වී තිබේ.
දඬුවම් නියම කිරීමේදී වරද සිදු කළ ආකාරය ඇතුළු කරුණු කිහිපයක් සලකා බැලිය යුතු බව අභියාචනාධිකරණය සඳහන් කළේය.
වරදක බරපතළභාවය, අනාගත වැරදි වැළැක්වීම, ප්‍රජාව ආරක්ෂා කිරීම සහ වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම ඇතුළු කරුණු දඬුවම් නියම කිරීමේදී සලකා බැලිය යුතු බවට මීට පෙර අධිකරණ තීන්දු කිහිපයකදී අවධාරණය කර ඇති බවද විනිසුරු මඬුල්ල පෙන්වා දී තිබේ.
ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා නියම කර තිබූ වසර 7ක බරපතළ සිරදඬුවම වසර 4ක් දක්වා අඩු කළ අභියාචනාධිකරණය, එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.
කෙසේ වෙතත්, කොළඹ මහාධිකරණය විසින් නියම කළ දඩ මුදල් සහ වන්දි නියෝග කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යාමට අභියාචනාධිකරණය තීරණය කළේය.


