ශ්‍රී ලංකා ආර්ථිකය අඛණ්ඩව කාර්තු 11ක් වර්ධනය වෙයි: IMF අවදානම් ගැනත් අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ මෑත කාලීන වර්ධනයන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම (EFF) වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය සහ 2026 වසරේ 4 වැනි වගන්තිය යටතේ සිදුකරන උපදේශනයේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අවසන් කර තිබේ.

ඉවාන් පපාජෝර්ජියෝගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායම සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටියේය. සංචාරය අවසානයේ IMF සඳහන් කළේ අඛණ්ඩව එල්ල වූ විවිධ ආර්ථික කම්පන හමුවේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.

2026 වසරේ දෙවැනි කාර්තුවේදී ආර්ථික ක්‍රියාකාරකම් සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව ආර්ථික වර්ධනයක් වාර්තා කළ 11 වැනි කාර්තුව බව IMF පවසයි.

කෙසේ වෙතත්, අගෝස්තු මාසයේදී වාර්ෂික මූලික උද්ධමනය සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති අතර, එයට ප්‍රධාන වශයෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාමේ බලපෑම හේතු වී තිබේ. එසේ වුවද උද්ධමන අපේක්ෂා පුළුල් වශයෙන් ස්ථාවරව පවතින බව IMF සඳහන් කරයි.

අගෝස්තු අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට බැංකු පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයකින් යුක්තව ලාභදායී ලෙස ක්‍රියාත්මක වන බවද IMF පෙන්වා දෙයි.

2026 වසරේ පළමු භාගයේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට අවසන් කර ඇති බවත් IMF සඳහන් කර තිබේ.

එහෙත් මැදපෙරදිග ගැටුමේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ පවතින අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තිවල වෙනස්කම් සහ එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර අවදානම් තවදුරටත් පවතින බව IMF අනතුරු අඟවා ඇත.

එවැනි බාහිර කම්පනවලට මුහුණදිය හැකි ආර්ථික ස්ථාවරත්වයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය හා බාහිර අංශයේ ආරක්ෂිත සංචිත තවදුරටත් ශක්තිමත් කිරීම, මිල ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ පාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බව IMF පවසයි. ඒ සමඟම අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා සමාජ ආරක්ෂණ ජාල තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද අවධාරණය කර තිබේ.

බදු ආදායම් එකතු කිරීම වැඩිදියුණු කිරීම සඳහා මධ්‍ය කාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කිරීමද IMF නිර්දේශ කර ඇත. බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් නැවත සමාලෝචනය කිරීම සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම තුළින් බදු ක්‍රමය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ කිරීමේ අවශ්‍යතාවද එමගින් පෙන්වා දී තිබේ.

මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, නම්‍යශීලී උද්ධමන ඉලක්කගත රාමුව යටතේ මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් උද්ධමන පීඩනවලට ප්‍රතිචාර දැක්වීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව සූදානමින් සිටිය යුතු බව IMF පවසයි.

බාහිර කම්පන අවශෝෂණය කර ගැනීමට සහ විදේශ සංචිත ගොඩනැගීමට සහාය වීම සඳහා විනිමය අනුපාතිකයේ වැඩි නම්‍යශීලීභාවයක් පවත්වා ගැනීමේ වැදගත්කමද IMF අවධාරණය කර තිබේ. එමෙන්ම පළමු ව්‍යවස්ථාපිත සමාලෝචනයේදී සියයට 5ක වත්මන් උද්ධමන ඉලක්කය සහ දැනට පවතින වගවීම් පරාසය පවත්වා ගැනීම සුදුසු බවද IMF සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී නීති රාමුවේ අඛණ්ඩතාව පවත්වා ගැනීමේ වැදගත්කමද IMF අවධාරණය කර තිබේ. මෑතකදී යෝජනා කර ඇති සංශෝධනවල ඇතැම් විධිවිධාන මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවට එම අරමුදල අවධානය යොමු කර ඇත.

ආර්ථික ස්ථාවර කිරීමේ අදියරෙන් දිගුකාලීන ආර්ථික පරිවර්තනයක් වෙත ගමන් කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදුකළ යුතු බව IMF පවසයි. ව්‍යාපාරික පරිසරය වැඩිදියුණු කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳාම ලිබරල්කරණය කිරීම, ව්‍යාපාර සහ කම්කරු නීති නවීකරණය කිරීම, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය වේගවත් කිරීම එහි ප්‍රධාන නිර්දේශ අතර වේ.

IMF කණ්ඩායම යාපනයේද සංචාරය කර උතුරු පළාතේ ආර්ථික විභවයන් පිළිබඳ සාකච්ඡා කර තිබේ. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල ආයෝජන සහ රැකියා අවස්ථා පුළුල් කිරීමේ හැකියාව එහිදී හඳුනාගෙන ඇති අතර, සම්බන්ධතා පහසුකම්, කුසලතා සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කර තිබේ.

IMF නියෝජිත පිරිස ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා ඉදිරියේදීත් සිදුකරන බව IMF පවසන අතර, නුදුරු කාලයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීම එහි අරමුණ වී තිබේ. එම එකඟතාවට පැමිණීම මගින් IMF වැඩසටහනේ හත්වැනි සමාලෝචනය කඩිනමින් අවසන් කිරීම සඳහා මාර්ගය විවෘත වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *