මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ රැසකට ඊයේ දිනයේද තද වැසි ඇදහැලීමත් සමඟ එම ප්‍රදේශවල නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් පිළිබඳව ජනතාව අතර බියක් මතුව තිබේ.
මේ අතර, මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශවල ජල මට්ටම්ද වේගයෙන් ඉහළ යමින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවෝ පවසති.
ඊයේ උදෑසන වන විට මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6ක් පමණ පහළින් පැවති අතර, කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 4ක් පමණ පහළින් පැවති බව ඔවුහු සඳහන් කළහ.
ජලාශ දෙකෙහි ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවද ඉංජිනේරුවෝ පෙන්වා දුන්හ.
මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශවලින් ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, කැනියොන් සහ බ්‍රෝඩ්ලන්ඩ් යන ජල විදුලි බලාගාර සංකීර්ණ සඳහා ජලය සැපයෙන බවද ඔවුහු සඳහන් කළහ.
මේ අතර, නුවරඑළිය මාර්ගය ඇතුළු කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයකට උදෑසන සහ සවස් කාලයේදී දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව පොලිසිය පවසයි.
මෙම මීදුම් තත්ත්වය හේතුවෙන් මාර්ගය පැහැදිලිව දැකගැනීමට නොහැකි වන බැවින්, බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ සහ බෑවුම් සහිත මාර්ග හරහා ගමන් කිරීමේදී රියැදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
රියැදුරන්ට වාහනවල ඉදිරිපස විදුලි පහන් දල්වාගෙන ඉතා ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.


