සංචරණ සීමා දීර්ඝ කිරීමේ නව තත්ත්වය

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ.

එහිදී, රට තුළ මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණි.

ඒ අනුව පහත සඳහන් තීරණ ගෙන තිබේ,

  • මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව ලිහිල් කෙරේ
  • සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳසැළට යෑමට අවසර
  • ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය මට්ටමින් ජංගම වෙළෙඳ රථ
  • ජූනි 07 දක්වා සුරාසල් සම්පූර්ණයෙන් වසා තැබේ
  • සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳ තොරතුරු සෙවීමට යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් ඩ්‍රෝනයානා මෙහෙයුම්

 

ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ට අලෙවි කරගත නොහැකි එළවළු අස්වනු රජය මගින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

හෙට (25) අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරෙන අතර එම අවස්ථාවේදී විවෘතව තැබිය හැක්කේ තෝරාගත් සිල්ලර වෙළෙඳසැළ් (මාළු, මස්, එළවළු සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය), ඖෂධ සැල්, බේකරි නිෂ්පාදන වෙළෙඳසැල් හා ඉන්ධන පිරවුම්හල් පමණි.

හෙට (25) රාත්‍රී 11.00 සිට මැයි 31 අලුයම 4.00 දක්වා නැවතත් පෙර පරිදි සංචරණ සීමා පැනවේ.

මැයි 31 වන දින අළුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

මැයි 31 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 04 අලුයම 4.00 දක්වා බල පැවැත් වේ.

ජූනි 04 වන දින අලුයම 4.00 සිට රාත්‍රී 11.00 දක්වා යළි සංචරණ සීමා ලිහිල් කෙරේ.

ජූනි 04 රාත්‍රී 11.00 ට නැවත පැණවෙන සංචරණ සීමා ජූනි 7 වන දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳ දැනුම්දීමට සහ සම්බන්ධීකරණ තොරතුරු සේවාවක් ලෙස 1965 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

මේ අතර හෙට (25) දිනයේදී නිවසින් බැහැර වීමේදී හැඳුනුම්පතේ අවසන් අංකය පිළිබඳ ක්‍රමය ක්‍රියාත්මක නොවේ.

කිසිදු හේතුවක් මත වාහනවලින් පාරිභෝගික භාණ්ඩ මිලදීගැනීමට වෙළෙඳසැළ් වෙත ගමන් කිරීමට ද අවස්ථාවක් ද හිමි නොවේ.

මේ අතර හෙට දිනයේ සංචරණ සීමා ලිහිල් කෙරුණ ද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

මීට පෙර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබුණ ද කොවිඩ් මර්දන කමිටු ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව අන්තර් පළාත් හෝ පළාත තුළ කිසිදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොවන බව දිලුම් අමුණුගම අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *