ඉදිරියේදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකාවේ සාමය සඳහා වූ පා ගමන” වැඩසටහන සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා මෑතකදී ටෙක්සාස් සිට වොෂින්ටන් දක්වා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 10 ක් පුරා දින 110 ක සාම පා ගමනක් නිම කළ පූජ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගී වූහ.
මෙම රැස්වීමේ මුලසුන දැරුවේ පූජ්‍ය ආචාර්ය මෙල්පිටියේ විමලකිත්ති හිමියන් වන අතර ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහභාගී විය.
සැලසුම් වලට අනුව, ඇමරිකානු සාම පා ගමනේ නිර්මාතෘ පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ නායකත්වයෙන් යුත් භික්ෂූන් වහන්සේලා දොළොස් දෙනෙකු අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. දේශීය සාම පා ගමන අප්‍රේල් 22 සිට අප්‍රේල් 28 දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය සහ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.
මෙම වැඩසටහන අප්‍රේල් 21 වන දින අනුරාධපුරයේ පූජනීය ජය ශ්‍රී මහා බෝධිය අබියස ආගමික වතාවත් සහ ආශිර්වාද සහිතව ආරම්භ වේ. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබාගත් ශ්‍රී මහා බෝධි අංකුරයක් පා ගමන පුරා චාරිත්‍රානුකූලව රැගෙන යනු ලැබේ.
රුවන්වැලි මහා සෑයේ විශේෂ ආගමික වතාවත්වලින් පසුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජනතාව සමඟ සාමයේ පණිවිඩය බෙදා ගනු ලැබේ.
අප්‍රේල් 22 වන දින උදෑසන දඹුල්ලෙන් සංඝගත දක්ෂිණාව පිරිනැමීමෙන් පසු පා ගමන නැවත ආරම්භ වේ. පෙරහැර නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් හරහා ගමන් කර අප්‍රේල් 28 වන දින නිදහස් චතුරශ්‍රයේදී අවසන් වීමට නියමිතය.
වැඩසටහන අවසානයේ, පා ගමන අතරතුර රැගෙන යන ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සංචාරයේ යෙදෙන මහා සංඝරත්නය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබේ.
පිරිසිදු ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහාය ඇතිව, භික්ෂූන් වහන්සේලා සඳහා දානමය සහ ආහාර සැපයීම, සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂාව වැනි සංවිධානාත්මක විධිවිධාන පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.


