ශ්‍රී ලංකාවේ ඇඹුල් කෙසෙල් ඩුබායි වෙත අපනයනය කිරීමට රජයෙන් පියවර…

ශ්‍රී ලංකාව සිය ප්‍රථම දේශීය කෙසෙල් තොගය නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Daily News පුවත්පතට අනුව, පළමු ඇඹුල් කෙසෙල් තොගය 2022 නොවැම්බර් 26 වන දින ඩුබායි වෙළඳපොළට අපනයනය කිරීමට නියමිතය.

කිලෝග්‍රෑම් 12,500ක් බරැති මෙම ඇඹුල් කෙසෙල් තොගය ඩුබායි වෙළඳපොළට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

“කෘෂිකාර්මික ආදර්ශ උද්‍යාන වැඩසටහන යටතේ රාජාංගන ප්‍රදේශයේ වගා කරන ලද කෙසෙල් වගාවකින් ලබාගත් අස්වැන්න විදේශ වෙළෙඳපොළට නිකුත් කරනවා,” ඔහු පැවසීය.

කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ එම පියවර ගනිමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් රාජාංගනය ඇඹුල් කෙසෙල් ව්‍යාපෘතිය අක්කර 200 ක භූමි ප්‍රමාණයක වගා කර ඇත.

මේ අතර, ඩුබායි වෙත ඇඹුල් කෙසෙල් අපනයනය සතිපතා සිදු කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා අනාවරණය කළේය.

පළමු කාණ්ඩය අපනයනය කිරීමෙන් පසු සෑම සෙනසුරාදා දිනකම ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් ඩුබායි වෙළෙඳපොළට යැවීමට කටයුතු යොදා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *