විරෝධතාවක් සිදු කර අත්අඩංගුවට ගත් පෙරටුගාමීන්ට ඇප

අධිකරණ නියෝග සහ නිරෝධායන නීති කඩ කරමින් කොල්ලුපිටිය අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකිරිමට පැමිණි අත්අඩංගුවට පත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් පිරිස ඇප මත මුදා හැර තිබේ.

ඒ සැකකරුවන් ඊයේ (09) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට දෙසතියකට පෙර පොලිස් නිලධාරියෙකුගේ වදහිංසාවලට ලක්වී මරණයට පත්වූ අමෙරිකානු කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනන හෙළා දකිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ දහවල් විරෝධතාවයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

කොල්ලුපිටිය මංසන්ධිය අසලදී විරෝධතාකරුවන් වෙත පැමිණි කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් සෞඛ්‍යාරක්ෂිත නියමයන් වලට අවනත වෙමින් විරෝධය සිදු නොකරන ලෙස දන්වා සිටියේය. එය පිළි නොගත් විරෝධතාකරුවන් පොලිසිය සමග දිගින් දිගටම ගැටුණේය.

නොසන්සුන් විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගය කියවා දැනුම් දුන් අතර විරෝධතාකරුවන්ගෙන් ඊට දැඩි බාධා එල්ල විය.

එහිදී කොල්ලුපිටිය ප්‍රදේශය තුළ විරෝධතා නොපවත්වන ලෙස ලබා දී තිබූ අධිකරණ නියෝගය කඩ කිරීම සහ නිරෝධායන නීතී උල්ලංඝනය කිරීමේ චෝදනාව මත පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු සාමාජිකයන් 23 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව කොළඹ ලිප්ටන් වට රවුම වෙත පැමිණි තවත් විරෝධතාකරුවන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත විය.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරතවීමේ චෝදනාව මත පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුළු 19 දෙනෙකු පොලිස් මෙහිදී අත්අඩංගුවට ගැණුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *