රජයේ නිල GovPay ගෙවීම් වේදිකාවට සමාන ව්‍යාජ වෙබ් අඩවි සහ SMS පණිවිඩ භාවිත කර සිදුකරන මූල්‍ය වංචා කිහිපයක් වාර්තා වීම හේතුවෙන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට අනතුරු අඟවා තිබේ.
වංචාකරුවන් විසින් GovPay වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර පරිශීලකයන් රවටා, විශේෂයෙන් රථවාහන දඩ මුදල් ගෙවීමට යොමු කරන බව පොලිසිය සඳහන් කළේය.
මෑත දිනවල ශ්‍රී ලංකා පොලිසියේ නාමයෙන් යවන ලද ව්‍යාජ SMS පණිවිඩ පිළිබඳවද තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි. එම පණිවිඩවල ලබන්නන් වේග සීමා උල්ලංඝනය කිරීම හෝ වෙනත් රථවාහන වැරදි සිදුකර ඇති බවට අසත්‍ය දැනුම් දී, වංචනික සබැඳි (links) හරහා දඩ මුදල් ගෙවන ලෙස උපදෙස් ලබා දී තිබේ.
රථවාහන වැරදි සිදුකරන පුද්ගලයන්ට එම අවස්ථාවේදීම වැරැද්ද පිළිබඳ දැනුම් දී, ස්ථානීය දඩ පත්‍රිකාවක් නිකුත් කරන බව හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කරන බව පොලිසිය අවධාරණය කර ඇත.
එමෙන්ම, ආරක්ෂක කැමරා මගින් රථවාහන වැරදි හඳුනාගත්තද, බැංකු ගිණුම් තොරතුරු ඉල්ලා හෝ ගෙවීම් සබැඳි වෙත යොමු කරමින් පොලිසිය SMS පණිවිඩ නොයවන බවද පැහැදිලි කර තිබේ.
SMS හෝ වෙනත් නිල නොවන මාර්ග හරහා ලැබෙන ගෙවීම් සබැඳි විවෘත නොකරන ලෙසත්, GovPay සේවා ලබාගත හැක්කේ නිල බැංකු සහ ෆින්ටෙක් (FinTech) යෙදුම් හරහා පමණක් බවත් පොලිසිය ජනතාවට දැනුම් දී ඇත.
මෙවැනි වංචාවකට ගොදුරු වූ පුද්ගලයන්ට ආසන්නතම පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන ලෙසද ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටී.


