ව්‍යාජ රථවාහන දඩ මුදල් වංචාව සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි

SMS සහ WhatsApp පණිවිඩ හරහා ව්‍යාජ රථවාහන දඩ දැන්වීම් ඇතුළත් මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට විශේෂ අවවාදයක් නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසියෙන් යැයි පවසමින් පුද්ගලයන් කිහිප දෙනෙකුට නාඳුනන දුරකථන අංකවලින් පණිවිඩ ලැබී ඇති බවයි. මාර්ග නීති කඩකිරීම් සීසීටීවී කැමරා මගින් හඳුනාගෙන මාර්ගගතව දඩ මුදල් ගෙවන ලෙසට උපදෙස් ලබාදුන් බවට එම පණිවිඩවල සඳහන් වේ.

රජයේ නිල ගෙවීම් වේදිකාවක් වන “GovPay” ට සමාන වන පරිදි නිර්මාණය කර ඇති “https://thecourierguy.cu.cc/lk” නම් ව්‍යාජ වෙබ් අඩවියකට මෙම වංචනික පණිවිඩ පරිශීලකයන් යොමු කරන බව පොලිසිය පවසයි.

පරීක්‍ෂණවලට අනුව, වංචාකරුවන් විසින් මෙම ව්‍යාජ වෙබ් අඩවිය භාවිත කරමින් සැක කළ නොහැකි වින්දිතයන්ගෙන් බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන බව පැවසේ.

මෙම වංචාව ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට හා මහජන විශ්වාසයට හානි කරන බවත්, SMS හෝ WhatsApp හරහා යවන සැක කටයුතු සබැඳි ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පවතින ක්‍රියා පටිපාටි යටතේ, රථවාහන වරදක් පළමුව පොලිස් නිලධාරියෙකු විසින් රියදුරුට දැනුම් දිය යුතු බවත්, නිල දඩ පත්‍රිකාවක් නිකුත් කරනු ලබන්නේ රියදුරු විසින් GovPay පද්ධතිය හරහා වරද පිළිගත් පසුව පමණක් බවත් බලධාරීන් පැහැදිලි කළේය.

නිල දඩ පත්‍රිකාවක් ලැබුණු පසු පමණක් ගෙවීම් කරන ලෙසත් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

5 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *