වස් සමය ඇරඹෙන පින්බර ඇසළ පොහොය අදයි

භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කෙරෙන ඇසල පුර පසලොස්වක පොහොය දිනය අද(16) යෙදී ඇත.

බුදු රජාණන්වහන්සේගේ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයකි. තුසිත දෙව්ලොව උපත ලැබූ බෝධි සත්ත්වයන්වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිදගැනීම අද වැනි දිනක සිදුවී තිබේ.

මුළු ලොවට සෙත සලසන අසිරිමත් සිද්ධාර්ථ කුමරුවන්ගේ මව් කුස පිළිසිඳ ගැනීම මෙන්ම සිද්ධාර්ථ කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී අභිනිෂ්ක්‍රමණය කිරීම ද ඇසළ පුන් පොහෝ දින සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

බුදුරාජාණන් වහන්සේගේ මංගල ධර්මදේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා පවත්වනු ලැබුවේ ද අද වන් ඇසල පුන් පොහෝ දිනකදී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාව ද අද වැනි පොහෝ දිනක පැවැත්විණි.

එමෙන්ම බුදුරජාණන්වහන්සේ දෙව්ලොව වැඩම කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කරන ලද්දේ ද අදවන් ඇසල පොහෝ දිනකය.

හේමමාලා දන්ත කුමරුන් විසින් ශ්‍රී ලංකාවට වැඩමවන ලද උතුම් වාම ශ්‍රී දළඳා වහන්සේ උදෙසා පවත්වනු ලබන උත්තම දළඳා පෙරහර මංගල්‍යය ඇරඹෙන්නේ ද ඇසළ පුන් පොහොය දිනකදී වීම මෙම ඇසළ පොහෝ දිනයේ ඇති සුවිශේෂීතා අතර වේ.

(Image – threegems.org)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *