ලංවිම ඉඩම හෝටල් ව්‍යාපෘතිය සඳහා බදු දීමට කැබිනට් අනුමැතිය…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී සමාගමට සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එල්එල්සී විසින් මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් සහ ලංවිමට අයත් එම ජලාශයේම පිහිටි කුඩා දූපතක් අත්පත් කර ගැනීමට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

සෘජු විදේශ ආයෝජනයක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් යොදවා හෝටල් සංකීර්ණයක් ඉදිකර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත මෙම ඉඩම් පවරා ගැනීමට නියමිතය.

ඊට අදාළ යෝජනාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අදාළ ආයතනවල එකඟතාව ලබාගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත එම සමාගමට ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *