LK reports news sinhala

රොක් සංගීතයේ විශිෂ්ටයා – බොබ් ඩිලන්

‘රොක්’ සංගීතයේ විශිෂ්ටතම පදරුත් අතර ගුඪාර්ථ (Enigmatic) දනවන ගේය පද රචකයා ඔහුය. වසර 117ක සංගීත ඉතිහාසයේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පුද ලද ප්‍රථම හා එකම සංගීතවේදියා ද ඔහුය. ඔහු නමින් බොබ් ඩිලන්ය.

බොබ් ඩිලන් ඇමරිකානු ජාතික ගායන ශිල්පියෙකි. ගී පද රචකයෙකි, ස්වර රචකයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. එමෙන්ම චිත්‍ර ශිල්පියෙකි. දශක පහකට අධික කාල පරාසයක් තුළ ඔහු ජනප්‍රිය සංගීතය විෂයෙහි කළ මැදිහත්වීම හා බලපෑම අපමණ හා අද්විතීය වේ.

බොබ් ඩිලන් උපත ලැබුවේ 1941 මැයි 24 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ මිනෙසොටා ප්‍රාන්තයේ ‘ඩුලූත්’ හිදීය. ඔහුගේ නියම නම රොබට් ඇලන් සිමර්මන්ය. ඔහු මධ්‍යම පාන්තික පවුලක සාමාජිකයෙකි. වයස අවුරුදු 12ට ආසන්න වෙත්ම ඔහු බොක්ස් ගිටාරය අතට ගත්තේය. ඉංග්‍රීසි, ස්කොට්ලන්ත හා අයර්ලන්ත ජන සංගීතය ඇසුරු කරමින් zbluesZ , rock and roll  සහ gosel යන සංගීත සම්ප්‍රදායන්ට අනුව ගීත ගායනය ආරම්භ කළ ඔහු සංගීත කතරක් බඳුවූ සිය ගම්මානයෙන් පිට මං වී නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය විය. 1960 වන විට ඔහු නිව්යෝර්ක් නගරයේ ‘ග්‍රින්විච් විලේජ් හි’ කෝපි අවන්හල්වල ගිටාරය වයමින්, ගීත ගායනා කරමින් වෘත්තීය සංගීත දිවියට අවතීර්ණ විය.

LK reports news sinhala

බොබ් ඩිලන්ගේ ගේය පද රචනා හා ගීත දේශපාලනික, දාර්ශනික, සමාජීය මෙන්ම සාහිත්‍යමය අගයන්ගෙන් මෙන්ම අරුතින්ද පෝෂිතය. දශක පහකට අධික කාලයක් සිදු කළ අනලස් හා අනවරත සංගීත සම්ප්‍රදානය හා නිබඳව බැදී පවතින ඔහුගේ ගී පද මාලාවන්ගේ සාහිත්‍යමය ආඛ්‍ය‍ානයන් සැලකිල්ලට බඳුන් කරමින් 2016 වසරේ ඔහුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රදානය කෙරිණි. එය නොයෙකුත් විවේචනයන්ට බදුන් වූ නොබෙල් සාහිත්‍ය ඉතිහාසයේ රැඩිකල් මෙන්ම සාම්ප්‍රදායික නොවන තීරණයක් විය.

නොබෙල් සාහිත්‍ය සම්මානයත් සමග ලොව පුරා සාහිත්‍යමය හා සංගීතමය සංවාදයන්හි බොබ් ඩිලන් ප්‍රමුඛ තේමාවක් බවට පත්විය. රොක් සංගීත සම්ප්‍රදාය ප්‍රචලිත නොවූ රටවල පවා ඔහුගේ සංගීත සම්ප්‍රදානය පිළිබද විද්වත් සංකථන පැතිරිණි. එහෙත් මෙරට සංගීත හා සාහිත්‍ය කතිකාවන් කෙරෙහි බොබ් ඩිලන් මාතෘකාවක් නොවිණි. නෙක වර්ණ පුවත්පත් කලා පිටු ගිටාරය වයන බොබ් ඩිලන්ගේ රූපකායෙන් හැඩ නොවිණි. රූපවාහිනී ගුවන් කාලය කා දමන ‘චැට් ෂෝ’ රෙඩාර් තිරයට මේ විශ්ව සංගීතඥයා හසු නොවිනි. ‘රියැලිටි ෂෝ’ මනෝ විජිතයන්හි දර්ශන පඨයන්ට ඔහු වස්තු විෂය නොවීය. සම්භාව්‍ය සංගීත කතිකාවන්ට පවා රොක් සංගීතය තරම් නොවූවා සේය.

ඔහු ගිටාරය මෙන්ම ඕගනය සහ හාර්මෝනිකා (Harmonica) නමැති සංගීත භාණ්ඩය වාදනයේ හසලයකු විය. 1960 වසරේ ඔහුගේ මුල්ම පටිගත කිරීමේ කාර්යය හාර්මෝනිකා වාදනයක් වූ අතර, ඔහුට ඒ සඳහා ගෙවූ මුදල ඩොලර් 50ක් පමණක් විය.

විසි හැවිරිදි වියේදීම සුප්‍රකට කොළොම්බියා සමාගම සමග ගිවිසුමකට එළඹීමට සමත් වූ බොබ් ඩිලන් 1962 මාර්තු මාසයේදී සිය කුළුදුල් ගීත ඇල්බමය නිකුත් කළේය. එහෙත් එයින් අලෙවි වූයේ පිටපත් පන් දහසක් පමණි. blues සහ rock and roll  සංගීත ශෛලීන් යොදා ගනිමින් ඔහු විවිධ නිර්මාණාත්මක පර්යේෂණ සිදු කළේය. ‘blues’ යනු ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රාන්තවල භාවිතා වන කළු ජාතික වහලූන්ගේ ජන සංගීතයයි. ‘blues’ සහ rock and roll ශෛලීන් එකිනෙක සම්මිශ්‍රණය කරමින් ඔහු විරෝධාකල්ප ගී (Protest Sonngs) රැල්ලක් ව්‍යාප්ත කළේය. ඩිලන්ගේ මේ ගීත හැටේ දශකයේ විරෝධතා ව්‍යාපාරයන්හි හා මානව හිමිකම් ව්‍යාපාරයන්හි තේමා ගීත බවට පත් විය.

LK reports news sinhala

ඔහු 1962 /63 වසරවල ගායනා කළ Bolwin in the wind මෙන්ම ‘The Time They are a changin ’ වැනි ගීත අධ්‍යාත්මික හා දේශපාලනික අදහස් කැටි වූ ප්‍රබල යුද විරෝධී ගීත විය. ඔහුගේ නිර්මාණ යුද විරෝධී, සාමවාදී මාවතක් ඔස්සේ ගලා ගියේය. බොබ් ඩිලන් තමා විසින්ම ගීත රචනා කරමින්, සංගීත නිර්මාණය කරමින්, ගායනා කරමින් විශ්ව සංගීත ක්ෂේත්‍රයට පැමිණි හැටේ දශකය ජනප්‍රිය සංගීතයේ එක්තරා ස්වර්ණමය යුගයක් විය. බීට්ල්ස් වැනි සංගීත කණ්ඩායම් මෙන්ම එල්විස් ප්‍රෙස්ලි, ෆ්‍රෑන්ක් සිනාත්‍රා වැනි ගායන ශිල්පීන් සංගීත ක්ෂේත්‍රය දික් විජය කළ සමයක් තුළ ජනප්‍රියත්වයේ හිණිපෙත්තට ළගාවෙමින් එම ස්ථාවරය දශක පහකට අධික කාලයක් තුළ රදවා තබා ගැනීම හැඳින්විය හැක්කේ එක්තරා ඵෙශ්චර්යයක් ලෙසය. අද වුවද බොබ් ඩිලන්ගේ ගීයක් සවන් වැකෙන විට අපේ මනසට නැගෙන්නේ 76 හැවිරිදි බොබ් ඩිලන් නොව හැටේ දශකයේ ගිටාරය සමග ගී ගයන තරුණ බොබ් ඩිලන්ගේ රූපකායයි.

බොබ් ඩිලන් ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියකුද වෙයි. එහෙත් ඔහුගේ චිත්‍ර ගීත මෙන් විරෝධාකල්ප හැගීම් ප්‍රකාශ නොකරයි. ඔහුගේ චිත්‍ර සදහා බෙහෙවින්ම පාදක වී ඇත්තේ භූමි දර්ශන සහ සංගීතයයි. 1994 වසරේ රැන්ඩම් හවුස් ප්‍රකාශන ඔහුගේ චිත්‍ර ඇතුළත් ප්‍රථම කෘතිය Drawn Black නමින් ප්‍රකාශයට පත් කළ අතර මේ දක්වා එවැනි ග්‍රන්ථ හතක් මුද්‍රණයෙන් නිකුත් වී තිබේ. ඔහු ප්‍රථම වරට චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වනු ලැබුවේ 2007 වසරේදීය.

නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලොව ප්‍රථම සංගීතඥයා මෙන්ම පුලිට්සර් සම්මානයෙන් (2008) පුද ලද ප්‍රථම රොක් සංගීතඥයා ද බොබ් ඩිලන්ය. 1991 වසරේදී ඔහුට සංගීතයට කළ සේවය වෙනුවෙන් ඇකඩමි සම්මානය හිමි විය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ඇතුලූ සම්මාන රැසක් ඔහුට හිමි වී ඇති අතර, 1970 වසරේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය විසින්ද, 2004 වසරේ සාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලය විසින්ද ඔහුට සම්මාන ආචාර්ය උපාධි පිරිනමන ලදී. මේ දක්වා අලෙවි වී ඇති බොබ් ඩිලන්ගේ ගී තැටි සංඛ්‍යාව මිලියන 125 ඉක්මවයි.

බොබ් ඩිලන් නොබෙල් ත්‍යාගය ලබා ගැනීම පිණිස සම්මාන ප්‍රදානෝත්සවය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ නොබෙල් සාහිත්‍ය කතාව ස්වීඩනයේ සිටින ඇමරිකානු තානාපතිනි අසිටා රාජි විසින් කියවන ලදී. 2017 වසරේ අප්‍රේල් මාසයේ ස්ටොක්හෝම් නුවරදී පැවැති මාධ්‍යයට නිරාවරණය නොවූ ඉතා චාම් උත්සවයකදී ඔහුට නොබෙල් ත්‍යාගයට හිමි රන් පදක්කම සහ සහතික පත්‍රය ප්‍රදානය කරන ලදී.

LK reports news sinhala
Bob Dylan during Bob Dylan File Photos at New York in New York City, New York, United States. (Photo by KMazur/WireImage)

විසිවැනි සියවසේ ජනප්‍රිය සංගීතයට හා ගේය පද රචනා සාහිත්‍යයට වෙසෙස් බලපෑමක් කළ පුද්ගලයකු ලෙස බොබ් ඩිලන් විශ්වීය ඇගැයීමට පාත්‍ර වෙයි. බොහෝ සංගීත විචාරකයන්ට අනුව රොක් සංගීතයේ සේක්ෂ්පියර් ඔහුය. ඔහුගේම නොබෙල් සාහිත්‍ය ප්‍රකාශනයට අනුව රොක් සංගීතයට සාහිත්‍ය මුසු කිරීමට හැකි වූයේ බර්නාඞ් ෂෝ, රඞ්යාඞ් කිප්ලිං, තෝමස් මාන්, පර්ල්.එස්.බක්, අර්නස්ට් හෙමිංවේ වැනි විශ්ව කීර්තිධර සාහිත්‍යකරුවන්ගේ කෘති නිබඳව ඇසුරු කිරීම නිසාය.

(උපුටා ගැනීම – රාවය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *