සජිත්

රනිල්-සජිත් පාර්ශව මැතිවරණයට හංසයා ලකුණින්

ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා සභාපතිත්වය දරණ සමගි ජනබලවේගය පක්ෂයේ ලකුණ වශයෙන් හංසයා ලකුණ පිළිගන්නා ලෙස එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළ අතර ඔහු මෙම ඉල්ලීම සිදුකළේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඔහුගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ පාර්ශ්වය අතර අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාපතිත්වය දරන සමගි ජනබලවේගය සිය ‘ලකුණ’ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අද සිය මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා තිබුණි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මහලේකම් අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් එම රැස්වීමට සහභාගි නොවු බව වාර්ථා වන අතර එම හමුවෙන් පසුව ඉදිරි මහමැතිවරණයට සහාය ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකනවරුන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා තිබුණි.

ගොඩනගන නව සන්ධානය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය අතර මුණට මුහුණ සාකච්ඡාවක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණි.

ඊට රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ පාර්ශ්වය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්,එහි ජාතික සංවිධායක නවීන් දිසානායක,රවී කරුණානායක,ජෝන් අමරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහභාගී වු අතර සාකච්ඡාවට එක් වූ අනෙක් පාර්ශ්වය නියෝජනය කෙරුණේ සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර,මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුගෙන්.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ ලකුණ පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණි බවත් නීත්‍යානුකූලව ඒ පිළිබඳ සාකච්ඡා කර ඒ පිළිබඳ ඉදිරියේ දී මාධ්‍ය දැනුවත් කරන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *