2.රණවිරු අර්බුදය දිගට ඇදුනේ රනිල් මංගල සීතල යුද්ධය නිසා ද?

අළුයට සැඟව ගිය එජාප අර්බුදය..

මාස කිහිපයක් මුළුල්ලේ ඇදී ගිය එජාප ජනාධිපති අපේක්ෂන අර්බුදය සාකච්ඡා වට ගණනාවකින් පසුව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගිය සතියේ අවසන් විය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාව 2020 එජාප ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමගය.  කරුණු එසේ වුවත් එජාප ප්‍රබලයන් වන කිරිඇල්ල, රාජිත, රවී, ෆොන්සේකා ඇතුළු රනිල් හිතවාදී කල්ලිය දිගින් දිගටම සජිත්ට විරුද්ධව එළිපිටත් රහසේත් එදිරිවාදිකම් කිරීම ප්‍රසිද්ධ රහසක් වී ඇත. මේ අනුව බලන කල සජිත්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ගෝඨාභය නොවන අතර සජිත් කල්ලියේත් ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ තම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. තමන් කිසිවිටකත් කොන්දේසි වලට යටත් නොවන බව සජිත් ප්‍රේමදාස විසින් වේදිකාවේ කියා සිටියද සැබවින්ම ඔහු ජනපති සටනට එන්නේ තම පක්ෂ නායකත්වය දැමූ කොන්දේසි වලට යටත්ව බව රහසක් නොවේ.

වැඩ වරද්දා ගත් හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමිය..

dilirukshi dias රනිල්අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ සේවය වහාම අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා නියෝග කළේය. ඇය විසින් ගෝඨාභය රාජපක්ෂ සහ ඇවන්ගාඩ් සභාපතිවරයාට විරුද්ධව ගොනු කර තිබූ නඩුව සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහට ලක්වන්නට විය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානීන් නීතිය හදන්නත් නීතිය කඩන්නත් තමන් දන්නා බවට පුරසාරම් දොඩවන්නේ පටු දේශපාලනඥයන්ගේ උවමනා එපාකම්වලට තමන් යටත්වී සිටින බව ලෝකයා හමුවේ කියාපාමිනි.

නිදහසට වැට බඳින අල්ලස් කොමිසම..

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙකුට සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල් දෙදෙනෙකුට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ආන්දෝලනයට තුඩු දුන් ඇවන්ගාඩ් නඩුවෙන් එම පිරිස නිදහස් කරනා ලෙසට අභියාචනාධිකරණය පසුගියදා තීන්දු කළේය. එම තීන්දුවට අනුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් එම නඩුවෙන් නිදහස් කළ අතර එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ  මොවුන්ට විරුද්ධව අල්ලස් කොමිසමට අලුතින් නඩුවක් ගොනුකිරීමට කිසිදු බාධාවක් නැති බවයි.  ඒ අනුව නැවත මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කිරීමට සූදානම් වන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය. එසේ වුවද 2015 යහපාලන රජය යටතේ අල්ලස් හෝ දූෂණ කොමිසම කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසකගේ දැඩි අප්‍රසාදය පළවී ඇත.

ජනපති අගමැති ද්වන්ද සටනක..

පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා උත්සව අවස්ථාවලදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාව දැඩි ලෙස විවේචනය කළේය. පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශ වලට ප්‍රතිචාර දැක්වීය. එහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ තමන් මෙම චෝදනා සම්බන්ධයෙන්  ඉදිරියේදී ප්‍රතිචාර නොදක්වන බවත් කැබිනට් සාමූහිකත්වය ආරක්ෂා කිරීමට තමන් බැදී සිටින බවත් එබැවින් කැබිනට් මණ්ඩලයේ සිදුවූ සිදුවීම් සහ කථාබහ තැන් තැන්වල ප්‍රකාශ කිරීම සුදුසු නොවන බවයි. කලක සිට ජනපති අගමැති අතර ඇතුලතත් එළිපිටත් පවතින්නාවූ මෙම විරසකය  රට දිනෙන් දින අගාධය කරා තල්ලු වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

ආබාධිත රණවිරු අර්බුදය දිගට ඇදුනේ රනිල් මංගල සීතල යුද්ධය නිසා ද?

කොටුව දුම්රියපළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් ආරම්භ කල සත්‍යග්‍රහය මේ වනවිට රණවිරුවන් කිහිප දෙනෙකුගේ මාරාන්තික උපවාසයක් බවට පත්ව ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන් ජීවත්ව සිටින තුරු ඔවුන් වෙත ලබාදුන් වැටුප ඒ ආකාරයෙන්ම ලබාදෙන ලෙසයි. මෙම ඉල්ලීම සදහා කැබිනට් අනුමැතිය හිමි වුවද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල එම කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යාංශයේදී  මංගල සමරවීර ඇමතිවරයා විසින් සංශෝදනය කිරීමට විරෝධය පාමින් ඔවුන් අඛණ්ඩව තම අරගලයේ නිරත වී සිටී. මංගල සමරවීර සජිත්ට සහාය දීමත් සමග රනිල් – මංගල හොඳහිත බිදී ගියේය. එම නිසාම අගමැතිවරයා මෙම ආබාධිත රණවිරු විශ්‍රාම වැටුප් අර්බුදයට මැදිහත් වූයේම නැත. එසේ කිරීමෙන් අගමැතිවරයා බලාපොරොත්තු වූයේ මෙහි චෝදනාව මංගල සමරවීර, මුදල් ඇමතිවරයා පිට පටවා හිතාමතාම ඔහු අප්‍රසාදයට පත්කිරීමට බව සමාජයේ බොහෝ දෙනාගේ මතයයි.

කවුරුන් කෙසේ කීවද සත්‍ය කථාව නම් රාජ්‍ය භාණඩාගාරයේ මේ වනවිට මුදල් නොමැතිවීමයි.ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයකු විසින් භාණ්ඩාගාරයේ මුදල් නොමැති බව ප්‍රකාශ කළේය.  පොළොන්නරුවේ පැවැති පාසල් උත්සවයකදී  ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ මේ වනවිටත් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්ව ඇති බවයි.  ජනතාව මත අධික බදු බරක් පටවමින්, ඉතිහාසයේ කවරදාකවත් නැති ආර්ථික සංවර්ධනයක් තම පාලනය තුළ උදාකල බව අගමැතිවරයා රටවටා යමින් ප්‍රකාශ කරද්දී රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීම සදහා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් ලබාගැනීමට යහපාලන රජයට දැන් සිදුවී ඇත.

ඒකීය රටක්……….නීති දෙකක්………….

පසුගියදා මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරාධිපතින් වහන්සේගේ අපවත් වීමෙන් පසුව එම හිමියන්ගේ දේහය විහාර බිමේ ආදාහනය කිරීමට විරෝධය පා TNA සංවිධානය මැදිහත්වී මුලතිව් පොලීසියට පැමිණිල්ලක් සිදු කළේය. ඒ අනුව යමින් අධිකරණයට කරුණු වාර්තා කළ මුලතිව් පොලීසිය අධිකරණයෙන් තීන්දුවක් ලබාදෙන තුරු ආදාහන උත්සවය නොපැවැත්වීමට කටයුතු කළේය. පසුව අධිකරණය විසින් තීන්දු කලේ එම ආදාහන උත්සවය විහාර භූමියේ සිදු නොකොට විහාර බිම ආසන්නයේ ඇති මුහුදු වෙරළේ එය සිදු කිරීමටය.

බොදු බල සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලාද මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත මහතා ප්‍රධාන ගිහි පිරිසක්ද එක්ව අධිකරණ නියෝගයට එරෙහිව යමින් විහාරාධිපති හිමියන්ගේ දේහය රජ මහා විහාර බිමේ පසෙක ආදාහනය කරන්නට විය.

මෙහිදී සිදුවූ බරපතලම කාරණය නම් දෙමළ සන්ධාන පාර්ශවයේ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීමට බැදී සිටියද එය දකුණට මිස උතුරු – නැගෙණහිට වලංගු නොවන බව පවසා සිටීමයි. දෙමළ සන්ධානයද මෙහිදී ප්‍රකාශ කර සිටියේ බුදු දහම යනු උතුරට වලංගු ආගමක් නොවන බවයි. අන්තවාදය ජාතිවාදය ආගම්වාදය වපුරමින් දෙමළ සන්ධානය අක්කර 40 ක් පුරා විහිදී පුරා විද්‍ය භූමියකට බලපෑම් කරමින් මේ සැරසෙන්නේ නැවත මේ රටේ බෙදුම්වාදී අරගලයක් ඇතිකොට අහිංසක දෙමළ සිංහල ජනතාව අතර ගැටුමක් ඇතිකිරීමටය. රජයද මේ සිදුවීම සම්බන්ධයෙන් මුනිවත රැකි අතර විශයභාර ඇමති සජිත් ප්‍රේමදාසද මෙයට මැදිහත් නොවූයේ තමන්ට සුළු ජාතික ඡන්ද අහිමි වේ යැයි ඇති භිය නිසාය.

අස්වනු නෙළන ගෝඨාභය..

වසර තුනක් තිස්සේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් “වියත් මග” සහ “එළිය” නමින් විද්වත් කථිකාවතක් රට පුරා ගෙනගිය අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ දිශානතිය කුමක්ද යන්න එහිදී සාකච්ඡාවට බදුන් විය. එම ව්‍යාපාරය වටා රටේ විද්වතුන් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් එක්වන්නට විය. පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාපපක්ෂ නම්කොට සතියත් ගෙවීයන විට ගෝඨාභය විසින් තමන් වසර තුනක් තිස්සේ මහන්සිවී සකස් කල එම වැඩපිළිවෙල මැතිවරණ ව්‍යාපාරය තුල දැන් ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන ඇත. එම නිසාම ඉතාම සාර්ථක වැඩපිළිවෙලකින් යුක්තව ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබේ.

පසුගිය සතියේ දේශපාලන විමසුම

රනිල්-සජිත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *