රට බෙදන ෆෙඩරල් යෝජනා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මෙහෙමයි…

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමේ යෝජනා, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුළත් කළ පළමු අවස්ථාව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය මගින් විපක්ෂ නායකවරයා පවසන්නේ ජනතාව මුලා කරමින් සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ෆෙඩරල් යෝජනා ඇතුළත් කර ඇති බවයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “ඒකීය රාජ්‍ය සංකල්පය” අතහැර “නොබෙදුනු සහ වෙන්කළ නොහැකි රාජ්‍යයක්” පිළිබඳ සංකල්පයක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බවයි.

මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදාහරින බවත් එහි සඳහන්ව ඇති අතර එය පසුගිය ජනවාරි මාසයේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ අන්තර්ගතයට බොහෝ දුරට සමාන බවද එම නිවේදනයේ සඳහන්වේ. පළාත් සභා මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රි මණ්ඩලයක් ඇති කිරීමෙන් පාර්ලිමේන්තුවේ බලය සීමා කිරීම සහ මධ්‍යම හා පළාත් ආණ්ඩු අතර ආරවුල් විසඳීමට ව්‍යවස්ථා අධිකරණයක් ඇති කිරීම වැනි යෝජනාවල පරමාර්ථය වන්නේ ලිහිල් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීම බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“අගමැතිවරයාගේ ව්‍යවස්ථා කෙටුම්පතේ සිංහලෙන් “ඒකීය රාජ්‍ය” සහ දෙමළෙන් “ඔරුමිත්තනාඩුවක්” ලෙසට සඳහන් කිරීමට යෝජනා වී තිබුණද “යුනිටරි ස්ටේට්” නම් වදන එහි ඉංග්‍රීසි පිටපතේ අන්තර්ගත වී නැත. මෙලෙසම ජනපතිවරණ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේද “යුනිටරි ස්ටේට්” යන වචනය ඇතුළත් නැත.“

“මව්බිමේ ඒකීයත්වය” යන වචනය යොදා ගනිමින් “ඒකීය රාජ්‍යයක්” යන අදහස පෙන්වා සිංහල ජනතාව නොමඟ යැවීමට ක්‍රියා කර ඇති බවත් උතුරු පළාත් හිටපු මහ ඇමැතිවරයා පවා මෙම වංචනික වචන හරඹවලින් එකි එක් අයට එක් එක් අර්ථ දැනවීමට උත්සාහ කිරීම ප්‍රතික්ෂේප කර ඇත.“ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

රටට අහිතකර ව්‍යවස්ථා යෝජනා සහිත ප්‍රතිපත්ති ප්‍රකාශයක් මහනුවරදී මහ නාහිමිවරුන්ටද පිළිගන්වා සංඝරත්නයද නොමඟ යවා ඇති බවද විපක්ෂ නායකවරයා පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

” මේ අනුව වත්මන් එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ අගමැතිවරයාගේ ව්‍යවස්ථා කෙටුම්පතටත් වඩා දැඩි ෆෙඩරල්වාදී නැඹුරුවක් බවට කිව හැක. රටේ ප්‍රධාන ‍දේශපාලන පක්ෂයක් ඒකීය රාජ්‍ය අහෝසි කොට ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමට යෝජනා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. දැනට නිකුත් කර ඇති එ.ජා.ප. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කුමක් සඳහන් වුවත් තමා “ඒකීය රාජ්‍ය” නැතිනම් “යුනිටරි ස්ටේට්” නමැති සංකල්පය සුරකින බවටත් ෆෙඩරල්වාදයට විරුද්ධ වන බවටත් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතේ සියලු යෝජනාවලට විරුද්ධ වන බවටත් ලිඛිත ප්‍රතිඥාවක් එජාප ජනාධිපති අපේක්ෂකයාගෙන් ලබාගන්නා මෙන් මම අති පූජනීය ත්‍රෛනිකායික මහ නාහාමිවරුන්ගෙන් ඉල්ලා සිටිමි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *