සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා උපරිම පරිභෝජන කාලසීමාව තුළ බලශක්ති පරිහරණය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් රටේ බලශක්ති සංරක්ෂණය සුරක්ෂිත කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ මෙම ප්‍රයත්නයන් සඳහා මහජනතාවගේ සක්‍රීය දායකත්වය සහතික කරමිනි.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පැන නගින අඛණ්ඩ බලශක්ති සැපයුම පවත්වාගෙන යාමේ ගෝලීය අභියෝගය හමුවේ දූරදර්ශීව සහ කාර්යක්ෂමව බලශක්ති පරිහරණය කළමණාකරණය තුළින් එම අභියෝගය ජය ගැනීම සඳහා හැකි උපරිම දායකත්වය ලබාදීම ආයතනවල සහ පුද්ගලයන්ගේ සාමූහික වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ බලශක්ති සංරක්ෂණය සහතික කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.
රාජ්‍ය සේවය සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සකස් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් බලශක්ති පරිභෝජනය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් පසුගිය සති කිහිපය තුළ දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය.
එම මට්ටමින් බලශක්ති පරිභෝජනය ක්‍රමානුකූලව කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා වන ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
ප්‍රචාරක දැන්වීම් පුවරු සහ අනෙකුත් විසිතුරු ආලෝක පද්ධති මඟින් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලිය පරිභෝජනය කරන බවත්, ඒවායේ භාවිතය සීමා කිරීමෙන් රටේ සමස්ත විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ඉතිරියක් ඇති විය හැකි බවත් සඳහන් විය.
නාගරික ප්‍රදේශවල අත්‍යවශ්‍ය නොවන වීදි ආලෝක භාවිතය අවම කිරීම සහ බලශක්ති කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සාකච්ඡාවේදී වැඩිදුරටත් සලකා බැලිණි.
ශක්‍ය විකල්ප ප්‍රවේශයන් හඳුනාගෙන ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන් සාකච්ඡාවල නිරත වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.


